සොඳුරු සරසවි අසපුව

සරසවි ජීවිතය සුන්දර මතකයක් පමණක් නොවේ. සොඳුරු යෞවණය ජීවය ලැබූ ඒ අසපුව මගේ හිතේ කවිකම පිළිසිඳ ගත්තා. එහිම උපන් කවි සිත අද කෙතරම් වැඩිවියට පත්ව ඇත්දැයි අදහා ගත නොහැක.සතුටකි. මිහිරකි. මවුනි ඔබ ඇකයේ සිට මැවූ සිහින බොඳවී විසිරුනා නොවේ මල් පල දැරුවා පමණි. ආයුබෝවන් රුහුණු සරසවි මවුනි ගරු.!

Wednesday, December 1, 2010

අතිශයින්ම වැඩිහිටියන්ට පමණයි xxx


කිති කැවූ රතඳර
දෙකන්පෙති දිගේ විත්

රණ හස යුවල ලඟ
නතර වී මොහොතකට

කෙළි කවටකම් කලා
ඔච්චමට...

ලැම දිගේ ගලා ගිය

සෙනේදිය උතුරලා

විල් තෙරම කලඹලා

නිසල විය මත් වෙලා

එකම එක ඇසිල්ලක

Wednesday, November 17, 2010


දුන්හිඳ අද්දර
සංහිඳි‍යාවෙන්
මීදුම් සළුවෙන්
මුහුණ වසා ගෙන
හිම කුමරියේ
කොයි ගියේ උදෑසන

පෙරදා රෑ සඳ දිය
ගඟ උතුරවලා
ඔබේ සිනා කැට
පතුලේ සඟවලා
ගලාන යන හැටි
රුදු ‍වෙස් අතහැරලා

බදුලු ඔයේ
සැඩ පහර රළුවෙලා
නොදැනද දියකඳ
සිප ගත්තේ ඔබ
අරුණළු එන්න කලින්
මේ මිහි මත

Monday, November 8, 2010

පබළු



උදෑසන මා

අතින් පිස දැමුණු

පිනි පබළු

සිහි කලා

මා නිසා

ඔබෙ නෙතින්

ගලා ගිය වැහි කඳුළු

Wednesday, November 3, 2010

කතරගම රුමතිය (ප්‍රේමවතී මනම්පේරි)


සඳ සාවී හැඬුවාද නෙත් රිදෙනකම්
සඳ වතුර උතුරාලා සිපගන්නකම්
කිරි වෙහෙර නෑවීලා ඒ දිය කඳින්
මිණි නදිය සැරසීලා නුඹටත‍් හොරෙන්

පේවීලා ආවාට නිල් මල් අරන්
මල් මාල ගෙතුවාද සුදු මල් වලින්
පූජාව සුරිඳුන්ට පුද දෙන්නනම්
ඔබ තාම ඇයි නාවේ මුරුතැන් අරන්

නොපෙනුනිද සුරිඳුන්ට දුක දිව් ඇසින්
මිහිතලයේ සඟවාපු මල් පොකුර උන්
නිහඬ වී සිටින්නේ අපෙ පින් අරන්
සුර ලොවට යැව්වාද මයුරාසනෙන්

Tuesday, November 2, 2010

අතීතය සිහිනයක් පමණයි


පැරණි සටහන් පොතක

උමතු වූ පැරණි පෙමක

පැරණි නොවූ සිතුවමක සේයාවක්

මනෙතු යන්තමට බොඳ කලා....

එපමණයි


Monday, October 18, 2010

ඔබත් තනිකඩයි තවමත් මමත් තනිකඩයි


බුලත් හෙප්පුවක් අරගෙන
සුරත් වෙව්ලමින් සිව්නෙත්
යාවුන දවසේ
විදුලි සැර වැදී සියොලඟ
දැවී අළුවුනානම් අද
අපි එක පියසේ
මගේ හිත අරන් හොරෙන්ම
මට හිත ගන්නට බැරිවිය
සිතූ ලෙසේ
ඔබේ කඳුළු නෙත් රිදුන‍ට
මටත් දුක දැනේ බොලඳියේ
අද දවසේ
පොරොන්දම් නිසා පොරොන්දු
කඩ උනා කියා නෑසිය
මඟ හැරියේ
ඔබත් තනිකඩයි තවමත්
මමත් තනිකඩයි
මොනවා කරන්නද සොඳුරියේ
අපෙ දෛවේ

Thursday, October 7, 2010

මල් කෙල්ලන් මල්


මල් පොකුරු පිටින් විකිණුවේ අපි
නැති බැරිකම හින්දා
මල් අපෙන් ගන්න මහත්වරුනි
දුරින් ආපු හින්දා

මල් කෙල්ලන් මල් අරගෙන
ලඟට ආව හින්දා
හිත් මල පොඩි කරන්නෙපා
මමත් මලක් හින්දා

වැව් තාවුල්ලේ මල් නෙලලා
මඩ තැවුරුණු හින්දා
මිළ කලේ මල් මිටක් ගානේ
දුක් ගින්දර හින්දා

ඔබ දුන් රුපියලක් ගානේ
කුස ගිනි නව් හින්දා
තුන්හිතකින්වත් දොස් කියන්න
එපා මෙන්න වැන්දා

Friday, September 17, 2010

ඇය පවිත්‍රා නම් වූවාය...........



ශ්‍රවණාගාරය පුරා පැතිරී තිබුනේ දැඩි නිහඩ බවකි. ශාලාව වසා පැතිර ගිය අඳුර නිසා එහි රැඳී සිටින කිසිවෙකුත් හඳුනාගත නොහැකි වුවත් එය අතුරු සිදුරු නැතිව පිරී පවතින බව සතර දෙසින් ඇසෙන මුනු මුනුවෙන් තේරුම් ගත හැකිය. වේදිකාවේ තිරය මෑත් වන්නට ගත වන වේලාව වැඩි නොවේදැයි පූජිතට සිතේ. නේවාශිකාගාරයේ සිට පැමිණීම නිසා පිටුපස අසුනක් ලබා ගැනීමට නොහැකි වීම පිළිබඳ පූජිත පසුතැවිලි වූයේය. ප්‍රමාද වීම නිසා ඔහුට ලැබුනේ පහත මාලයේ ඉදිරිපෙල අසුනකි. තමා අසල අසුන් ගෙන සිටින දෙදෙනාවත් අඳුනා ගත නොහැකි තරමටම ශාලාව අඳුරු වී තිබුණි. තම ජීවිතයද මේ අඳුර මෙනැයි පූජිතට සිතිණි. වරක මේ ගණඳුරේම සඳක් පායා ආලෝකමත් වූ ආකාරය පූජිත සිහි කලේය. එකල තම සිතේ පායා තිබූ පුන් සඳ නිමේෂයකින් මෙම වේදිකාවේ පායනු ඇත. එහෙත් නැවත වරක් තම අඳුරු සිත එළිය නොවනු ඇත. පූජිතගේ මුවින් සිහින් සුසුමක් පිවිය. එකනෙහිම ශ්‍රවනාගාරයේ අඳුර මකාලමින් වේදිකාවේ තිරය මෑත් විය.
සුරඟන සුදු මල් පාවාඩය මත වැටී උන්නාය. ඈ වටා උන් පරිවාර ස්ත්‍රීන් ඇට පවන් සලති. සුරඟන අවදි වන බව පෙනෙන්නට නැත. පසුබිමින් සිහින් සංගීත රාවයත් සමග සුර කුමරු වේදිකාවට අවතීර්ණ වූයේ සක්විති රජෙකු පරිද්දෙනි. පරිවාර ස්ත්‍රීන් ලතාවකට වේදිකාවෙන් ඉවත් විය. සුර කුමරු පහත් වී සුරුඟනගේ දෙතෙ‍ාලට මුව ලං කලේය. පූජිත වේගයෙන් දෙනෙත් පියා ගත්තේ එවන් අවස්ථාවක් අපේක්ෂා නොකළ බැවිනි. ශවණාගාරය පිටුපසින් එකවරම විසිල් නාදයක් අසී නෑසී ගිය අතර වේදිකාවේ ඇසුණු සංගීත රාවයද එකවරම තීව්‍ර විය. සුර කුමරාගේ චුම්බනයෙන් මත් වූ සුරඟන රාගික බැල්මක් ඔහු වෙත පෑවාය. කුමරු ද සුරත පා සොඳුරිය පිළිගත්තේ සෙනෙහසිනි. කුමරිය නැගිටින විටම සකලාංගයේ පැළඳ සිටි අබරණින් වේදිකාවම කහ පැහැයෙන් දීප්තිමත් විය.

............................................
............................................
සිඹිමි නා පෙති - අමා මී පෙති
සැලී සියොලඟ - දැවී අළු විය

ප්‍රේමාලිංගනය සමග වේදිකාව පසෙක හුන් ගායක පිරිවර ගැයූ ගීයේ ශෘංගාරාත්මක අවසන් පද දෙපදය පූජිතගේ හදවත අළු කලේ ක්ෂණයකිනි.

කලා උළෙල විචිත්‍රවත් කළ මුද්‍රා නර්ථනයෙන් ප්‍රේක්ෂකාගාරයම අමන්දානන්දයට පත් වී උන්න ද පූජිත පමණක් දැඩි වේදනාවට පත්ව සිටියේය. පූජිත සිය ඇඟිලි තුඩු වලින් දෙනෙත් පිසදා ගත්තේය. “ඉඩෝර බිම නිවාලන කඳු රැල්ල” නිමාවට පත් වූයේ පූජිතගේ ගතත් සිතත් ඉඩෝරයට ඇද දමිනි.

ඔහුට ශවණාගාරයෙන් පිටවීමට බොහෝ වේලාවක් ගත විය. ශාලාවෙන් පිටතට ඇදෙන ප්‍රේක්ෂකයන් අතරින් පිටතට පැමිණෙන විට දෙවන වසර සිසුන් පවිත්‍රා සහ කවීෂ වට කරගෙන සුබ පතනු දක්නට ලැබිණ. පූජිත ඔවුන්ට සිතින් පමණක් සුබ පැතුවේය. ඒ හදවතින්මය. ඔවුන් සුබ පතනුයේ සරසවි කලා උළෙලේ හොඳම නර්තනාංගයට නොව සරසවි උයනේ සුපිපි අළුත් සුපෙම්වත් යුවලට නොවේදැයි පූජිත තමාගෙන්ම විචාලේය. “ඉඩෝර බිම නිවාලන කඳු රැල්ල” ආරම්භ වන විට පූජිතගේ පෙම්වතිය වී උන් පවිත්‍රා උළෙල අවසාන වන විට කවීෂගේ පෙම්වතිය වී උන්නාය. මේ බව සහෘදයන්ට මතක නැතිවා මෙනි.

වේදනා බර දර්ශනයෙන් සිත ඔත්පල කර ගත් පූජිත පිය ගැට පෙල බැස ගමන් කරන්නට විය. අතීතය සිහි කරමින් වේදනා විඳීමෙන් පලක් නැතැයි ඔහට නොසිතුනා නොවේ. අවසන් වසර විභාගයට ඇත්තේ තවත් මාස දෙකක් පමණි. ඉනික්බිති මේ සියල්ල හිස් අහසේ පා වූ බොල් සුළඟ මෙන් විසිරී යනු ඇත. ප්‍රථම ප්‍රේමයෙන් විදින ලද චිකිත්සාවන්හි වේදනාව පහ කිරීමේ කල් එළඹ ඇත.

“පූජිත අයියා”
“පූජිත අයියා............ඔහොම ඉන්න”

පවිත්‍රා පිළිබඳ මතකය අකා මකා දමමින් කල්පනාකාරිව ගමන් කළ පූජිත සෞම්‍යාගේ කෑ ගැසීමෙන් පියවි සහි ලද්දේය. සෞම්‍යා පිය ගැට පෙළ දිගේ පූජිත දෙසට වේගයෙන් දුව ආවාය.

“වැටෙයි ළමයෝ............”

පූජිතට කිය නිම කිරීම‍ටත් පෙර පිය ගැට දිගේ වේගයෙන් දුව ආ සෞම්‍යාට පාලනය කර ගත නොහැකි වූවාය. සිය පා ලා සිටි පාවහන් එකිනෙක ගැටෙන අයුරු පූජිත බලා සිටියේය.
“ආ.......යි”
පූජිතගේ ශක්තිමත් දෑතේ යදම් මත සිර නොවුනානම් සෞම්‍යා ඇද වැටෙනු ඇත.

“ තව පොඩ්ඩෙන් බෙල්ල කඩා ගන්නවා”
“මං දන්නවා අයියා ඒකට ඉඩ නොදෙන බව”
“පණ්ඩිතකම් කියවන්නත් එනවා තව........ මට තමුසෙගේ පිස්සු වැඩ අල්ලන්නේ නෑ”
“තමුසේ..?”
“ඔව් තමුසේ තමයි”
“මං දන්නවා තමුසේ කියන්නේ මට ආදරේට බව”
“මං යනවා”
“එපා මට ඔයත් එක්ක කතා කරන්න ඕන”
“මට මහන්සියි”
“මං දන්නවා”
“දන්නවනම් කරදර නොකර යනවකෝ”
“මියුසිකල් එක පටන් ගන්නකම් ඉන්නේ නැද්ද”
“මට පාඩම් කරන්න තියෙනවා”
“ඔයා ගිහින් පාඩම් කරන්නේ නෑ”
“ඔයා කොහොමද දන්නේ”

සෞම්‍යා සුරතින් පූජිතගේ සුරත දැඩිව අල්ලා ගත්තාය. ‍ඇය හිතුවක්කාරය. කියන දේ නාසයි. අයගෙන් මිදී පලා යන්නේ කෙසේදැයි පූජිත දහස් වර කල්පනා කළ ද කිසියම් උපායක් සිහියට නොනැගීම පිළිබඳ පසුතැවිලි වූයේය. සරසවි ජීවිතයේ තම සිසිල කලේ පවිත්‍රාය. පවිත්‍රා අවදි කළ ජීවිතය ඇයම මරා දමා ඇත. සෞම්‍යා උත්සහ කරන්නේ ඇයගේ මිතුරිය විසින් නිදි කරන ලද තම සිත අවදි කරන්නටය. පවිත්‍රා සමග පෙමින් බැඳී සිටියේ වසරකට ආසන්න කාලයක් පමණි. පවිත්‍රා හා තමා පිළිබඳ සියළු මතකයන් පිළිබඳ දැන දැනත් මේ හිතවක්කාර කෙල්ල තමා පසුපස එන්නේ මන්දැයි වරෙක සිතේ. සෞම්‍යාගේ දිගු කෙස් කළඹ හමා ආ සුළං පහරින් පූජිතගේ මුහණ පුරා පැතිරිණි. ඉන් වහනය වූ පිච්ච මල් සුවඳ නොවිඳ සිටීමට තරම් සිතක් පූජිතට නොවීය. පවිත්‍රාගේ හිසින් වහනය වන්නේ ද මෙබඳුම සුවඳකි. එකම නේවාශිකාගාරයේ එකම කුටියේ සිටින යෙහෙලියන් එකම වර්ගයේ විලවුන් භාවිත කරනවා වන්නට ඇත.

“පවිත්‍රා ඔයා දාලා ගියාට දුක් වෙන්න එපා පූජිත අයියේ”

ඔවුන් සෙමින් සෙමින් බුදු මැදුර පසු කර පහළට බැස යන අතර සෞම්‍යා පැවසුවාය. සෞම්‍යා තාමත් පූජිතගේ දෑතේ එල්ලී ගත් ගමන්මය.

“මගේ අත අතහරින්න නංගී”
“බෑ...බෑ... පවිත්‍රා අතහැරියට මම අතහරින්නෑ”
“අතහරිනවා අත”

පූජිත කෝපයෙන් වෙව්ලන්නට විය. අනපේක්ෂිත සිදු වීමෙන් සෞම්‍යා තැති ගත්තාය. එහෙත් ඈ උත්සාහය අත් නොහලාය.

“ඇයි නැවැත්තුවේ හියියෙන් කෑ ගහන්න....ඔනනම් මට ගහන්න. කොයිතරම් කෑ ගැහුවත් පවිත්‍රා ඔයා ලඟට එන්නේ නෑ.”

දෙදෙ‍නාගේ බහින්බස් වීම අසන්නට තරම් කෙනෙකු මල් පාරේ නොවීම පිළිබඳ දෙදෙනාම සිතින් සතුටු වූහ. සෞම්‍යා උපක්‍රමශීලීව පූජිත තමා අසලින් වාඩි කරවා ගත්තාය.

“ප්ලීස්... ඔයා යන්න නංගී මෙතනින්”
“ඇයි මං යන්නේ.. ඔයා හැමදාමත් කලේ මාව එලවන එක. අදනම් මං ඔයා දාල කීයටවත් මෙතනින් යන්නනේ නෑ”
ඇය උමතු වී ඇත් දැයි පූජිතට සිතිණි. සෞම්‍යා මෙල්ල වන බවක් පෙනෙන්නට නැත. පූජිත නිහඬ වූයේ ඇයට අවනති වෙමිනි.

“මොනාද ඔයාට කියන්න ඔන,... කියන්න තියෙන දෙයක් ඉක්මනට කියන්න”
“ පූජිත අයියා ඔයාට මතකද අපේ ෂෝෂල් එක”
“හ්ම්”
“එයාට මදකද කෙල්ලෙක් අවිත් අයියේ මං ඔයාට ආරෙයි කිවාෟ
“හ්ම්”
“කවුද ඒ”
“ඔයානේ”
“ඉතිං ඔයාට මතකද ඒ කෙල්ලගේ කඳුළු බල බලා ඔයා කියපු කතාව”
“මොකද්ද”
“මං ආ‍දරේ ඔයාට නෙමේ ඔයාගේ යාළුවට කියලා”
“ඔයාට මතකද මං එදා ඔය දෙන්නා තිනි කරලා අඬ අඬ ගිය හැටි”
“ප්ලීස්...ඔයා කතාව නවත්තන්න”
“නවත්න්නේ නෑ”
“ඔයා දන්නේ නෑ මං ඔය දෙන්නට සුබ පැතුවේ අවංකවමයි අයියේ ඒත පවිත්‍රා තේරුම් අරන් හිටිය ඒත් ඔයා ඒකේ අනිත් පැත්ත.”
“මට සමා වෙන්න”

ජීවිතේ පළමු වතාවට යුවතියක් තමාගෙන් ආදරේ ඉල්ලමින් සිඟා කෑ සැටි ඔහු සිහි කලේය. එහෙත් ඔහු අදරේ කලේ ඇගේ යෙහෙළිය වූ පවිත්‍රාටය. සෞම්‍යා තරම් පවිත්‍රා රෑමත් නොවූවද නවක වද සමයේ ඈ තුල වූ අපූර්වත්වයක් දුටුවේය. සෞම්‍යා දඟකාරය. කටකාරය. එහෙත් පවිත්‍රා එකළ උවැසියක් බඳු වූවාය. එහෙත් වසරක් ගත වන්නටත් පෙර ඒ උවැසිය සිල් බින්දාය. ඔවුන් ප්‍රථම වසර අධ්‍යයන කටයුතු ආරම්භ කරන විට පෙම් වතුන් වූහ. සෞම්‍යා සියල්ල අමතක කර ඔවුන්ට සුබ පැතුවාය.

“ඉඩෝර බිම නිවාලන කඳු රැල්ල කලා උළෙල සංවිධානය කරන ලද්දේ පූජිත ඇතුළු අවසන් වසර සිසුන් විසිනි. නර්තනයට දස්කම් පෑ පවිත්‍රා නර්තනයට ඉදිරිපත් කලේ ද පූජිත විසිනි. සංවිධාන කටයුතු නිසා ඔවුන්ට ලංව ඉන්නට අවස්ථා අඩු විය.

නර්තන කණ්ඩායම කලාගාරය පිටුපස පුහුණු වීම් කරමින් උන්හ. චිත්‍ර පුවරුවක් සවි කිරීමට කලාගාරයට යමින් සිටි පූජිත දුටු දෙයින් ගල් ගැසුනේය. කවීෂ නර්තන කණ්ඩායම පුහුණු කළ තම සගයාය. ඔහුද තරඟයට පෙනී සිටින අයෙකි. කවීෂත් පවිත්‍රාත් වේදිකාව පිටුපස වැළඳ ගෙන උන් දසුන පූජිතට නො ඉවසුම් දුන්නේය.

“බය වෙන්න එපා මචං මේක ෆයිනල් ගරෑප් ඩාන්ස් එකේ රිහසල් එකක්”
පූජිතගේ ළය සැහැල්ලු වූයේදැයි ඔහුටම නෙ‍ාතේරිණි. පවිත්‍රා දුව විත් පූජිතගේ අතේ එල්ලිණි.

“බය උනාද”
“හ්ම්”

කලා උළෙල අවසානය සනිටුහන් වන විට නර්තන “ප්‍රේම පූජා” නර්තන යුවල සැබැ පෙම් වතුන් වූයේ සරසවි සංස්කෘතියට එය අළුත් දෙවක් නොවන බව පසක් කරමිනි.

“දැන් කල්පනා කලා ඇති”
“ඇයි ඔයා මාව දාලා නොයන්නේ”
“මට ඔයා ගොඩක් වටිනා නිසා.”
“ගිනි පෙල්ලෙන් බැට කෑ මිනිහා කණාමැදිරියටත් බයයි”
“ මං දන්නවා ඔයා මාව මනින්නේ පවිත්‍රා ගානට”
“ඔයාගේ යාළුවනේ”
“ඔව් යාළුවා තමයි. ඒ නිසා තමයි මං මගේ ආදරේ එයාට පූජා කලේ”

පූජිතට දුක සිතිනි. සෞම්‍යාගේ දෙනෙතට සඳ එලියට දිලිසෙන්නට වූවාය. පිට නොකර නෙතඟ ගුලි කර ගෙන උන් කඳුළු වැල් ‍පූජිතගේ උරහිස සිප ගත්තේ සෙනරත්ගේ සිත ද තෙත් කරමිනි.

“මට සමා වෙන්න නංගී”
පූජිත දෑඟිලි තුඩින් සෞම්‍යාගේ කඳුලැලි පිස දැම්මේය.

රෑ යාමේ මේ සාදයේ
ගී රාව පවී ගියේ
ආරාධනා පා.. මල් සිනා පා
ආවා සෙයා ආදරේ....

එළිමහන් රංග පීඨය දෙසින් උරේෂා රවීහාරීගේ මියුරු ගීතයක් ඇසේ. සංගීත රාත්‍රිය ආරම්භ වී ඇත.
සෞම්‍යා වහා පූජිත ලඟින් මෑත් වූවාය.

“සොරි අයියා... මං යනවා”
“කොහේද”
“හොස්ටල්”
“‍ෙබාරුකාරි”
“ඇයි”
“එහෙනම් දැන් කිව්වේ මාව දාලා යන්නේ නෑ කියලා”
“මෙහෙම දාල ගියාට සිතින් දාලා යන්නේ නෑ”

පූජිත සෞම්‍යාගේ සුරත තදින් අල්ලා ගත්තේය. සඳවතිය ලැජ්ජාවෙන් වලා පටලයට මුවා වූවාය. සයුර සිප එන නල රැල්ලක් දෙදෙනා වටා එති එති ඇදෙන්නට විය.

“දැන් කෝ කෙරුම්කාරිගේ කට”
“අර එදා කියපු එක ආයෙත් කියනවද”
“එදා වගේම දෙයක් වෙයි කියලා මට බයයි.”
“බය වෙන්න එපා එදා වගේ වෙන කවුරුත් අද අපි ලඟ නෑනේ.”
“කියන්නකෝ ඉතිං”
“ම්හ්”
“කියනවද නැද්ද” පූජිත බොරුවට සැර විය.
“මං ඔයාට ආදරෙයි”

පූජිත සෞම්‍යාගේ නලලත සිප ගත්තේය. මෙතෙක් කල් තමා පසුපස හඹා ආ සැබෑ ප්‍රේමය තමාට ලැබුනේ මේ මොහොතේ නොවේදැයි පූජිත සිතුවේය. සෞම්‍යාගේ වතෙහි වූයේ විජයග්‍රාහී අහිංසක බවකි. ඈ ද ඔහුගේ උනුසුමට ලං වූවාය.

එකවරම ශීතල දිය දහරාවකින් දෙදෙනා නෑවී ගියහ. සිහිල් දිය අහුරත් සමග පිච්ච මල් සෞම්‍යාගේ කෙස් කළඹ සිප ගනිමින් තිබිණි. සරසවි සංස්කෘතිය ප්‍රේමය ඔටුනු පලන් යුවලකට ලබා දෙන “බකට් කිරීම” මගින් නැවතත් සරස වසන්තයට යොමු කල අපූර්වත්වය පූජිතගේ දීප්තිමත් දෑසෙහි දිලෙන්නට විය.

සරසවි ජීවිතේ එකම
එක දවසක්.................

Monday, September 13, 2010

ඇලපාත සමග ගජමන්

ඇ.
දෙතොලතර රැඳුනු කවිකම්
කොයි සැඟ වුවාද ගජමන්
තුන් මංසලේ ඔබ තනියෙන්
පිළිමයේ නොමැත හසකැන්
ග.
දෙතොලතර රැඳුනු කවිකම්
ඔබ නිසා වසමි අදනම්
මට තවම නොමැත තනිකම්
මඟ යනෙන බමරු ලඟ මං
ඇ.
පින් කසාවතට සමුදුන්
ඇලපාත මුදලිඳු මං
හරි හැඩයි ඔබේ කවිකම්
නොව පැරණිය හඩ මනරම්
ග.
මගෙ කවට වදන් අසමින්
අම නිවණ අතැර දමමින්
නුඹ කරපු මෝඩකම් නම්
සිහිව නැගෙයි හසකැන්
ඇ.
සිප් සතර දුන්නු ගුරුකම්
පන්හි‍ඳේ තුඩග අමුනන්
නුඹ නමින් ලියන කවි පෙම්
පොත බලන්න මාතර යං
ග.
සිප් සතර ඔබේ මනරම්
ගුරු පඩුරු පුදමි සසොබන්
මාතර යන අවදානම්
ගමනට නැත සූදානම්

Tuesday, September 7, 2010

අපිට උරුම නෑ


නුඹට උරුම නැති
මටද උරුම නැති
හිතුවක්කාර හිතක්.......

නුඹට නොදී මං
මටම රිදුම් දී
තනිවම හඬන බවක්

අහසට පොලොවත්
පොලොවට අහසත්
ළං විය නොහැකි බවත්

අප දැන දැන මුත්
කුමටද මෙතරම්
රිදවාගනු හදවත්

Monday, August 30, 2010

මතක මන්දිර


මතක මන්දිරේ ලඟටම
අවුදින් යන්නද තනියම
මතක මංපෙතේ නතරව
ආපහු යන්නම් මුලටම

හිතට හිතුමතේ ඉන්නට
බැරිද කියනු මැන වැලපුම
විතක මධූවිතේ රසයට
නිමිති තනන්නේ නිතරම

නෙතඟ ගුලි වෙලා ඉන්නට
වරෙක බැරි උනා කඳුලට
මතක සුසානේ වැලලුන
පරවුණු පිණි මල් සුවඳට

Thursday, August 26, 2010

09

රෑ සිහිනෙන් විත් නුඹ මට
දුන්නු හාදු හින්දා
සඳ නැති ඒ සීතල රෑ
නුඹෙ තුරුලෙම උන්නා

ආදරයේ සුවිසල් වූ
සුව යහනක සතපා
මගේ හදේ ගැඹුරුම තැන
නුඹ නිති කිති කැව්වා

හදවත දවමින් පපුතුරේ
සෙනෙහෙ බැම්ම බින්දා
නුඹට දුන්න රෝස පොකුර
යහනෙහි පෙති සැලුනා


Wednesday, August 18, 2010

5 S


අතීතයේ ඉස්පිලි පාපිලි පවා මගේ මතකයේ තාමත් තියෙනවා. Cut කරන්නත් බෑ. ආයෙත් කොහේ හරි paste කරන්න හිතෙනවා. Delete කරලා දැම්ම නම්.......... ඒත් ඉතිං Recycle bin එකට යයි නේද.......? හිතේ හැම තැනම දාලා තියෙන Word/ Excel/ Power point/ Access File සේරම ටික Backup ගන්නත් හිතෙනවා. ඒත් ඉතිං Delete කරන්න හිතෙන Memory මොකටද Backup කරන්නේ. කොහොමත් දැන් ඒවාට වෛරස් ඇවිල්ලා ඉවරයි. අපරාදේ Sopos/ Avera/ Kaspersky ඒවට Attack කලේ. විනාශ වෙලා යන්න දුන්න නම් මං අද නිදහස්. Hard එකේ Save කරපු හින්දා අළුත් file එකක් දා ගන්න ඉඩකුත් නෑ. Save නොකර Close කරලා දැම්මා. කොහේද Recovery උනානේ ආයෙත්. දැන් නම් My Recent Document එකෙනුත් Delete කරලා දාන්න ඕන.
“Delete”
“are you sure you want to delete ‘Love Memory’?.”
“ඔබ යන්නම යාවිද? හදිස්සියකට අඩියක් ගහන්න වත් මතක පොදක් ඉතිරි නොකරම.”
“එක අතකට No දෙනවා. අපරාදේ සෑහෙන කාලයක් හදවත රිදව රිදවා එකතු කර ගත්තු දේවල් නේද”
“ඕන නෑ Delete කරලාම දානවා”
.................................................
“බලන්න ඕන වැරදිලාවත් Recycle bin එකටවත් ගියාද කියලා”
“අම්මො‍් ඇති”
……………………………………………………………………………………………
පෙන් (Data Traveler) ඕපන් කලා. අයියෝ ඒකෙත්........... ඇයි?..................ඇයි.................? වද දෙන්නේ.
Format කරලම දානවා...
එතකොට ඉවරයි.

Wednesday, August 11, 2010

මහ මෙරක් තරම්


මහ මෙරක් තරම්
මා ඔබට පෙම්
නොකලානම්
නොවේ ළතැවුල් මෙවන්..................................
හදෙන් පිටවෙන
සෝසුසුම්
ඔබට දිනයක දැනුනානම්
නොවේ කඳුලැලි
මේ තරම්..........................
අසම්මත පෙම් මල් පැතුම්
ලොවෙහි තව
පිපුනානම්
නොවේ මෙතරම් රිදුම්..........................
මගේ හද
ගැඹුරුම තැනින්
ඔබම අවුදින්
අනවසරයෙන්
මහද තුල එබිකම් කරමින්
මසිත ඔබට පිදූ සැනින්
ඇයි ද යනු
මා හැර දමමින්....................................
තරු දිලෙන
ගණඳුර මැදින්
නෙත් කෙවෙණි අග
කඳුලැලි පිරෙයි......................................
නුඹ නොදැන යන
මගේ සුසුම්
ඉවතලමි සැනසුම් පතමින්....................
අප හදින් යා වුනු පැතම්
බිඳී සුනු වී යනු බලමින්
මහද සුසානයේ
තනි කරමින්
යන්නෙපා මගේ සිහින
බොඳ කරමින්

Wednesday, July 28, 2010

ඉපැරණි ගොළු හදවත


හිතුවක්කාරී මට විතරක් හිත දේවී
හිතුවත් දෙසිතක් කළඹා යන්නම යාවී
මෙතුවක්කල් මා හැර කොයි ගියා ද පේවී
හිතවත්කම් මඟහරින්න බෑ මට දේවී

ආලවන්ත ඇස් බැන්දුම හිරිවට්ටාවී
කෝල සිනාවට හදවත දෙපළු කරාවී
පාළු අහස් කුස මං විතරක් මොර දේවී
වාළුකා අතර පුර සඳ සැංගී යාවී

කන්ද කදිර දේවාලෙට මොණරුන් ඒවී
රණ මයුරිය කොයිද කියා මගෙන් අසාවී
පුදසුන මත පහන් සිළුව සුළඟ නිවාවී
දෙවියනි ඔබ දන්නවනම් කොහිද කියාවී

සරුවත් බොන්නට එන්නේ කවදද දම්මී
හදවත් ගොළු වූ හැටි කියලා දෙනු මැනවී
කතා පොතේ සුගත් මමයි එය ඔබ නොදනී
දැන්වත් හිත ගන්නට බැරිවෙද දමයන්ති

Thursday, July 1, 2010

ආදර වැස්ස

ආදරයේ මතක බින්දු අදත් වහිනවා
හෙටත් වහීදැයි හදවත ගිගිරුම් දෙනවා
දෙගොඩතලා සැඩ පහරට සේදී යනවා
වැටී කඳුළු බොර දිය කඳ තව වැඩි ‍වෙනවා

කලා සොලොස පිරුණත් පුර හඳ සඟවෙනවා
බලාපොරොත්තුවේ දෑස් දියට වැටෙනවා
ගලා හැලෙන වැහි කඳුලැලි සයුර සිඹිනවා
වසුන්දරා නිසොල්මනේ බලා ඉන්නවා

හීන පුරා හති වැටිලා හද රිදවනවා
පීර පීර තරු අතරේ ඔබව සොයනවා
කීරි ගැහුණු ගුවන්තලය ගැබ්බර වෙනවා
මීන නුවන් අළුත් වැස්සකට සැරසෙනවා
kuma

Wednesday, June 23, 2010

ආඩම්බර කඳුළු බින්දු


ආඩම්බර කඳුළු බින්දු ළඳුනි ඔබම තියා ගන්න
මන්දාරම් වැහි ලිහිණිය මට කියනවා එපා ගන්න
සාඩම්බර කඳු වලල්ල හන්තානේ හැඩ කරන්න
ඇන්දානම් බොඳ සිතුවම් සොඳුර ඔබම තියා ගන්න

නාඩන් බොළඳියේ කියා රෝස කොපුල්තල සිඹින්න
නෑ දැන් අවසර පුරසඳ මගේ ලයේ හොවා ගන්න
මංගල තැල්ලක් දවටා ඔබෙ මුහුණේ හැඩ බලන්න
ඔහුටම ඉඩ දී ළබැඳියේ මගෙ සිහිනය මටම දෙන්න

අෂ්ටක ගී මැද්දේ දෑගිලි...... රන්
මුදු පලඳවන්න
මස්තක පෝරුවේ නැග්ගේ කොහොමද කියලා අහන්න
ළඟට ඇවිත් මල් නැකතේ ඔබෙ කුලගෙට ගිනි තියන්න
මගට වෙලා හිටියට මනමාලියේ නුඹ බිය නොවන්න

Monday, June 21, 2010

පොසොන් සඳ


මිස්සක පව්වෙන් නැග එන දම් හඬ
ඇසේ ඇසේ මගෙ සවන පුරා
හිස් අවකාසේ පුරා රැව් දිදී දිදී
ඇසේ ඇසේ මිහි මඬල පුරා

වසන් කරන් සිත් සතන් කෙලෙස් මල්
නසන්න හොඳ කල් එළඹෙන්නේ
පසන් කරන් සිත් සතන් බොදු බැතින්
පොසොන් සඳයි අර නැග එන්නේ

නිවන් වලාවයි මහා මේරුවේ
ගැටී ගැටී අර නැග එන්නේ
ගිමන් නිවාලන දම් වරුෂාවයි
ලක් දෙරණේ අද විසිරෙන්නේ

මිහින්තලාවයි මහමේව්නාවයි
අම්බස්තලයයි සුදිලෙන්නේ
ගුවන්තලාවේ මහින්ද මහ සඳ
කරුණා දිය බිඳු වස්සන්නේ

සොලොස් කලාවයි සම්බුදු මහිමයි
විශ්කම් දෑතින් නිමවෙන්නේ
ගමයි පන්සලයි වැවයි දාගැබයි
බොදු දන හදවත් සනසන්නේ

Tuesday, June 15, 2010

සංසාර ගංදෑල සිට ලියමි

ගං දෑල සුන්දරයි සොඳුර නුඹ උන්දාට
රන් තලිය හැඩ කරයි නිල් දියට වැටුනාම
සැන්දෑව එන්නෙපා කඳුළු පිරි නෙතඟුලට
මං ගාව නැති නිසා තවම ඔය නිල් දෑස

නිල් ගුවන සරසසවා වැහි පබළු රැගෙන එන
පිල් විදා නටන රණ මයුරියේ ඔබ තුටින
සිල් බින්ද වරද මේ රැයෙහි සිහිපත් කරන
විල් තෙරම කළඹවා වැහි කඳුල පතිත වින

දෙව්පුදට හැමදාම මල් මාල ගෙතුවාට
සඳ තාම ඇයි නාවේ දෙටගමුව වැව ලඟට
ගෙව් පවට පෙරදාක කළ වරද නොසිතාම
බිඳ දමා ඇයි ගියේ මගේ දුක්බර හිතට

කප් සියක් කල් බලා ඉන්න බෑ සිත දරා
රත් පියුම් පෙති සැලී වැටෙන හැටි බලා බලා
කප්පරක් පෙම් පැතුම් නැගෙන හැටි බුර බුරා
රත්තරන් ඉන්න බෑ නුඹෙ සුවඳ සඟවලා

මල් පාර අද නෑ


මල හිරු බැස යන සැන්දෑ යාමේ
මතකද පෙම් බස් මිමිණූ උයන් තෙර

සයුරු තෙරින් පිස ආ නල සළ‍ඟේ
ඔබෙ කෙහෙරැලි මගෙ වත සිපගයි

තනා එදා අපි මනෝ මන්දිරේ
සැදූ කුළුණු බිම වැටී කිමැයි

මගේ හදවතේ ගැඹුරුම තැනදී
ඔබෙ සෙනෙහස මට පිටා පා යයි

ඔබේ වදන් වැල් අමුණා මා ලියූ
කවියේ පදවැල් මැකිලා යයි

මතකය බොඳවී යන්න ලඟයි
සැමරුම් නැති කර ගන්න දුකයි

Monday, June 14, 2010

සිව් වසරක් ගෙවී ගියා

අරුණැල්ලේ පිනි පලස් පුරා
පවනැල්ලේ සිරි අසිරි දරා
හසරැල්ලක් මුව මඩල පුරා
ඉපනැල්ල්ලෙන් ආ සුවඳ සරා

මල් පාරේ මල් සුවඳ සොයා
සෙව්වත් සරසවි උයන පුරා
සංසාරේ සෙව් පැතුම් සොයා
ගන්නට බැරි විය හිතේ දරා

සිත හිරි වට්ටන නෙතු නොවසා
ඉන්නට බැරිද කියන් පවසා
හදවත ගස්සන සොඳුරු දොසා
ඉන්නට නොකියා බැරිද මුසා

සිහින පැතුම් මල් පොදි අහුරා
ගව්සිය දුර ඔබෙ පැතුම් සොරා
ගන්නට ආ පෙර මග අහුරා
සරසවි සිව් වස ගෙවී ගියා




Thursday, June 10, 2010

සුදු මල් යට


මුර කවුළුව දෙස බලා
ඔබ එන මග පුල පලා
රිද්මෙට හද සැරසිලා
ඉන්නට බෑ තව බලා

පුර සඳ අර හිනැහිලා
ඔබය කියා රැවටිලා
මල් පාවඩ අතුරලා
බලා හිඳිමි රෑ වෙලා

මුදු සුවඳක පැටලිලා
රුදු රකුසෙකු වෙස් වලා
ලෝ දහමට නතු වෙලා
සුදු මල් යට සැඟවිලා


ගුරු තරුවක සැඟවිලා
දුරු කර ගණඳුරු වලා
මරු කතරේ වූ මුලා
මා හද සුවපත් කලා


තක්සලාව

මුනු මුනු වදන් මුළු මුළුවල
ඇමිණෙනවා
දිලි දිලි නුවන් මුතු මුතු සේ
දිදුලනවා
සුළු සුළු රැවුම් හරි හරියට මතු
වෙනවා
පුළු පුළුවන් ලෙසින් සැලි සැලි
හමු වෙනවා
අරලිය මල් කැකුළු තැන තැන
විසිරෙනවා
තුරුලිය හොරෙන් පිනි පිරි මල්
රැකදෙනවා
පිටු පිටු අතර පෙම් ගී වැල්
ලියැවෙනවා
දුටු දුටුවනම නෙතු පියවිලි
සැරසෙනවා
යුතු මතු වැඩ සිප්හල තුල
සැඟවෙනවා
සිත නතු කර ගත නොහැකිව
ලතවෙනවා

Thursday, June 3, 2010

මගේ හුස්ම රැඳී ඇත්තේ මේ කවි තුලය



මගේ හුස්ම
රැඳී අත්තේ
ඔබ ඉතිරි කළ
මතකයේ නොවේ
නුඹ නිසා මසිතේ
උපන්
තනුවක් නැති
කඳුළු වියලූ
මේ කවි තුලය

මගේ හදවත
වෙලී ඇත්තේ
නුඹ කියා දුන් ආදර
මතකයේ නොවේ
වරින් වර මසිතේ
රජ කරන
නුඹ රැඟුම් පෑ
හොල්මන් තුලය

මගේ පන නල
රැඳී ඇත්තේ
නුඹ උරුම කර දුන්
විරහ ගීයේ
රිද්මයේ නොවේ
නුඹ නිසා මසිතේ
ඉතිරි වූ
ආත්ම ශක්තිය තුලය




Wednesday, June 2, 2010

සිහින හොරු අරන් රහසේ

මීන නුවන් යුග අතරේ
නීල තඹර පෙති දිලිසේ
පාට සිඳුනු ආකාසේ
සිහින හොරු අරන් රහසේ

මානවිකා සිත් අහසේ
තාරුකා අතර සැඟවේ
නාඳුනනා තුනු සපුවේ
සෙනෙහස් කවි පද ගෙතුවේ

සීත සඳුන් නල රැල්ලේ
වියැළී ගිය කඳුලැල්ලේ
සොයමි ඔබ පිදූ සෙනෙහේ
අතීත සැමරුම් අතරේ

සිත් අහස



හිස්ම හිස්
ආකා‍සය වගේ
මගේ හිත
සුසුම් හඬ
අසන්න
විහ‍ඟෙකු වත්
නැති

Tuesday, May 25, 2010

තෙමඟුල





පන්සිය පනස් වස් පෙරුමන් පුරා ගෙන
දන්සිල් බවුන් වඩමින් මල ගසා ගෙන
දස පින් ක්‍රියා කර සසරේ තැනින් තැන
පස් මහ බැලුම් බලමින් මෙහි නතර වින

සත් හට සෙත් සදන සිරිමත් කිඹුල් වත
සත් පියුමන් මතින් සුර බිළිඳුන් විලස
මෙත් සිත පතුරුවාගෙන මුළු ලොව දසත
බෝසත් දිවාකර වැඩියා මේ දියත

රම්‍යයි සුරම්‍යයි සුබ මාළිගාවල
ගින්නක් වගේ නිතරම ඇවිළුනා හද
තණ්හා රති රඟා රඟනා අනඟ රඟ
දුටුවද නෙක රැඟුම් නොසැලුනා හද

මුව කුලයේ සිටන් ආලයේ වෙලී ගෙන
මේ බවයෙත් එකට ආවත් බැඳීගෙන
සිව් පෙර නිමිති දැක ඇයවත් දමා හැර
අබිනික්මන් කලා අදිටන් දරා ගෙන

පුර සඳ දිලී දිලී නුබ ගැබ පලාගෙන
වැඩි සඳ සිලී සිලී බෝපත් වැළඳගෙන
මරසෙන් පරදවා තුන් ලොව දිනා ගෙන
ගණඳුරු දුරු කලා හිමි සඳ මෙලෝතල

පවසට පැන් පොදක් ලෙස අමරස බෙදා ගෙන
සදහම් සයුර සිව් දෙසටම ගලා ගෙන
දිවැසට පෙනෙන සැම සතහට කුළුණු ගෙන
හිමි සඳ බැස ගියා මොක් සැප ලබා ගෙන

Monday, May 24, 2010

සින්දූර්


පිච්ච මල් ගසා වරලස
පොට්ටු තැබූ පුර සඳ මත
ලෙච්චමී ඇවිත් ලගටම
ඇවිළුවා මගේ හදවත

ගියා දුර වැඩිද මන්දා


ඉඳුවර මල් නෙලා ගන්න
දෙව්ලොව නොගියානම්
කඳුකර සපු මල් නෙලන්න
තිබුනා හැමදාම..............

තරු මල් අහුලා සිඹින්න
අහසට නොගියානම්
සේපාලිකා මල් සිඹින්න
තිබුනා හැමදාම..............

මිණි මුතු අහුරක් ගෙනෙන්න
සත් මුහුදට නොගියානම්
බොරළු පහස විඳින්න මට
තිබුනා හැමදාම..............

Sunday, May 16, 2010

සිත හදිස්සියෙම


නෙතු පෙන්නලා
ලැජ්ජා වෙලා
සිත හදිස්සියෙම
නුඹ හංගලා........

විකසිත වෙලා
මන්මත් වෙලා
සිත හදිස්සියෙම
කුල්මත් වෙලා..........

පද අමුණලා
ගී මුමුණලා
සිත හදිස්සියෙම
කවියෙක් වෙලා..........

ඔබ කොහි කියා
මගටම වෙලා
සිත හදිස්සියෙම
වූවා මුලා............


Wednesday, May 12, 2010

මා ඔබට පෙම් නොකලානම්


මහ මෙරක් තරම්
මා ඔබට පෙම්
නොකලානම්
නොවේ ළතැවුල් මෙවන්........
හදෙන් පිටවෙන
සෝසුසුම්
ඔබට දිනයක දැකනුනානම්
නොවේ කඳුලැලි
මේ තරම්................
අසම්මත පෙම් මල් පැතුම්
ලොවෙහි තව
පිපුනානම්
නොවේ මෙතරම් රිදුම්......
මගේ හද
ගැඹුරුම තැනින්
ඔබම අවුදින්
අනවසරයෙන්
මහද තුල එබිකම් කරමින්
මසිත ඔබට පිදූ සැනින්
ඇයි ද යනු
මා හැර දමමින්...............
තරු දිලෙන
ගණඳුර මැදින්
නෙත් කෙවෙණි අග
කඳුලැලි පිරෙයි...........
නුඹ නොදැන යන
මගේ සුසුම්
ඉවතලමි සැනසුම් පතමින්.........
අප හදින් යා වුනු පැතම්
බිඳී සුනු වී යනු බලමින්
මහද සුසානයේ
තනි කරමින්
යන්නෙපා මගේ සිහින
බොඳ කරමින්

Monday, May 10, 2010

වන්දනාව

මතක දිගහැරුම...........................



“සල්වාරි එකට ඔයා ගොඩක් ලස්සනයි. අහිංසක පාටයි”
“තෑන්ක්ස් ....ඒත්.........”
“ඇයි ඒත් කියන්නේ”
“නෑ..ඉතිං...මේක මගේ නෙවෙයිනේ”
“දන්නවා...මේ ලොකේ තමන්ගේ කියලා කිසි දෙයක් නෑ සපූ”
“ඒත් මොන‍ දේ නැතත් මං දන්නවා සර් මගේ කියලා”
“නෑ බබා ... නෑ...ඒක වැරදියි. මේක තාවකාලික අයිතියක් විතරයි”
“ඇයි...........”
“නෑ...මං කිව්වේ මේ ලෝකේ හැමදේම අස්ථීර නිසා”
“ඒත් සර් අපේ ආදරේ ස්ථීර නැද්ද”
“කියන්න බෑ”
“ඔව් මං දන්නවා...ඔයා මට ආදරේ කියලා මාව අරන් යන්නේ කොහේටද කියලා”
“කොහේටද”
“ගැඹුරු අගාධයකට”
“ඒක ඇත්ත”
“එහෙනම් මොන එහෙකටද මාව කතරගම එක්ක ආවේ”
“ඔයා මගේම කරගන්නනේ බබා”
“ඔයා මාව රැවැට්ටුවා”
“අඬන්න එපා මෝඩියේ..... විහිළුවක් කලේ”
“ඔව් මං මෝඩයා තමයි. මං ඔයාගේ චාටු කතාවලට රැවටුනා. කැම්පස් ආවට මගේ හිත බොළඳයි. ඔයා ඒකෙන් ප්‍රයෝජන ගත්තා..”
“කෑ ගහන්න එපා මේ පූජා භූමිය කියන එක අමතක උනාද? මෝඩයා කිව්වේ විහිළු තේරුම් නොගත් නිසා”
“ඔයා මට ඇත්තටම ආදරේද සර්... කතරගම දෙවියන් ඉදිරියේ පොරොන්දු වෙන්න මාව දාලා යන්නේ‍‍‍ නෑ කියලා”
“නෑ රත්තරං නෑ..මං ඔයාට ආදරෙයි.මං පොරොන්දු වෙන්නම්. දැන් හිනා වෙන්න සපූ”





සෙනසුරාදා දිනයක් වූ නිසා කතරගම පූජා භූමිය අතුරු සිදුරු නැතිව පිරී තිබුණි. නන් දෙසින් ආ බැතිමතුන් පූජාවන්ට සහභාගී වී සිටිති. සපූගේ බැතිබර සිතින් සැනසීම තුරන් වූවාය. තමන් පැමිණියේ නො ආ යුතුව තිබූ ගමනකි. ආමන්ත නිසා යෙහෙළියන්ට ද බොරු කීමට සිදු වුනි. ස්නේහාගේ සල්වාරිය අඳිනවිට ඈ තමන් සැක කරන්නටද ඇත.

“අදනම් උඹ යන්නේ මළ ගෙදරක වෙන්න බෑ කෙල්ලේ... මොකද ආමන්ත සර් පන්සලකටවත් යමු කිවද?”
“නෑ..බං නෑ...සර් ගමේ ගියා”

අවසන් වසර විභාගයට ඇත්තේ තවත් මාස දෙකකි. විභාගය අත ලඟ තිබියදී මෙවන් ගමනක් පැමිණියේ ඇයි දැයි සපුමලී තමාගෙන් ම විමසා ගත්තාය. ඇගේ කල්පනා ලොව දේවාලයේ මුරුතැන් පූජාව නිසා බිඳී ගියාය. ආමන්ත දෙවියන් ඉදිරියේ තවුසෙකු බඳු විය. කඳ සුරිඳුන්ගේ ආනුභාවයෙන් සියළු දෝමනස්සයන් අකා මකා දමන්නට සපුමලී අදිටන් කර ගත්තාය. ස්වල්ප වේලාවකට පෙර තමන් කිරි වෙහෙර සෑ රදුන් ඉදිරියේ සිටියේ කෙතරම් සතුටකින්ද? එහෙත් ඒ සතුට ආමන්තගේ වදන් වලින් සුණු විසුනු වී ගියේ ක්ෂණයකිනි.

“අපි රෙස්ට් එකට යමු බබා”

සපුමලී තිගැස්සුනාය. ජීවිතයේ ප්‍රථම වතාවට පිරිමියෙකු සමග එකම කුටියක එකම යහනක තනි ව්න‍්නට සිදු වේ. ඇයට අම්මා සිහි වූවාය. අප්පච්චි දැන ගත්තොත් කුමකින් කුමක් සිදු වේදැයි කිව නො‍හැක. ගමනට සූදානම් වන්නැයි ආමන්ත කී මොහොතේ වත් මෙවන් තිගැස්මක් ඇති නොවූවාය. එහෙත් දැන් කළ යුතු දෙයක් නැත. ආමන්ත හැර දා පලා යා නොහැක. එක අතකට ආමන්ත අවිශ්වාස කිරීම පාපයකි. ඔහු පිවිතුරු සිත් ඇත්තෙකි. තමන් ඔහුගේ ශිෂ්‍යාවකි. ගුරුවරයෙකු විසින් ශිෂ්‍යාවක කිසි දිනෙක අමාරුවේ දමතියි විශ්වාස කළ නොහැකිය. ඇය සිත හදා ගත්තාය. එහෙත් මොහොතකට පෙර ආමන්ත සිත මඳකට හිරි වැට්ටුවා නොවේද? ඈ බිය වූයේ ඒ නිසාය.

“බය වෙන්න එපා”
“අපි යමු සර්”

මැණික් ගං මිටියාවතේ පිහිටා තිබූ “සන්ධ්‍යා” නිවාඩු නිකේතනය දුටුවන් මන බඳින සොඳුරු නවාතැනකි. එහි ඇතුල්වනවිටම සපුමලීට අමුත්තක් දැනුනි. සොඳුරු නවාතැනක තම සිත ගත් සොඳුරිය සමග රැය පහන් කරන මනරම් රාත්‍රිය පිළිබඳ සිතමින් ආමන්ත තමන්ට හිමිවූ කුටියේ දොරගුළු විවර කලේය. පහත මාලයේ ආපන ශාලාවෙන් රාත්‍රි ආහාරය ගත් යුවළ කුටියට පිවිසියේ අළුත බැඳපු මනාල යුවලක් පරිද්දෙනි. සපුමලී ආමන්තගේ අත ගත්තාය. ආමන්තගේ සිරුරෙන් වහනය වන සුවඳට ඇ ආශා කාළාය.

“මොකද මාව ඉඹින්නනේ”
“සුවඳයි”
“අද රෑට ඇති වෙනකම් ඉඹින්න”
“මට බෑ”
“ඇයි”
“මට බයයි සර්”
“ඔයා බය වෙන්නේ ඇයි.. මං ඔයා බඳන්න නේද ඉන්නේ”
“ඒත් අපි තාම බැඳලා නෑ නේ”
“ඔයාට මා ව අවිශ්වාසද සපූ”

සපුමලීට ආමන්ත පිළිබඳ දුක සිතිනි. තමා ඔහු රිද්දනවා වැඩී නොවේද? අනාගත ජීවන සහකරුවා අවිශ්වාස කිරීම වරදකි.

“ඔයාට මාව විශ්වාස නැත්නම් මං වෙන රෑම් එකකට ගන්නම්”
“එපා”

ඇගේ ක්ෂණික වෙනසට හේතුව පූජා භූමියේදි තමන් කළ අනවශ්‍ය විහිළුව නිසා බව ආමන්ත දැන සිටියේය. කෙසේ හෝ කෙල්ලගේ හිත හදන්න ඕන. ඒත් තමා කලේ මෝඩ කතාවක් බව වැටහෙන විට සපුමලී ඒ හරහා බොහෝ දුර ගොස් සිටියාය.

“මට සමා වෙන්න සපූ”
“හරි...හරි.. ඒවා සේරම හරි”
“හොඳ ළමයා වගේ දැන් වොෂ් එකක් දා ගෙන එන්න”
“සර් යන්න”
“මං පහළට ගිහින් එන්නම්”
“සිගරට් බොන්න එපා”
“එකක්”
“හැබැයි එකයි ඔන්න”
“තෑන්ක්ස් කෙල්ලේ”






රාත්‍රිය නිසංසලය. සඳ පායා බැබලී බැබලී සිනා සේන්නීය. ශීතල දිය දහරින් පිබිදුනු සපුහලීගේ ගත හිරි ගඩු පිපී තිබුනි. රාත්‍රී ඇඳුමින් සැරසුනු ඇගේ ග. වෙනදාටත් වඩා සොඳුරු යැයි ආමන්තට සිතිනි. ආමන්ත ශීතල දිය දහර තවරා ග්තතේ උතුරා යන සතුටිනි. නාන කාමර දෙසින් ඇසෙන ආමන්තගේ ගී හඬට සපුමලී සවන් දුන්නේ සිහින් සිනාවක මුවඟ රඳවා ගනිමිනි.

“පව් අහිංසකයා....”එහෙත් තමන් සිතන තරම් තම ගුරුවරයා අහිංසකයෙකු විය හැකිද? සියල්ල රාත්‍රීය විසින් තීරණය කරනු ඇත. උඩු කය නිරාවරණය කර පිජාමා සරමකින් සැරසුනු ආමන්ත ඈ වෙත අවේ ඇගේ ගත සිත කිති කවමිනි. ශක්තිමත් දේහයකින් යුතු මොහු ඉදිරියේ අද දින තමාගේ තවුස්දම් බිඳී යාදෝ යි බියක් ඇගේ සිත වෙලා ගත්තාය.

“මොකද බලං ඉන්නේ”
“සරම ඇන්දම ලස්සනයි”
“ඇයි මොකුත් පේනවාද”
“අනේ...හ්”
“මගේ ලඟට එන්න”
“ඇයි”
“එන්නකො”
“ම්ම්හ්”
“ලයිට් එක ඕෆ් කරන්නද”
“හා”

ආදරණීය සිහින් වර්ෂාවක් කතරගම නගරය‍ෙ ඇද හැලෙන්නට විය. කතරගම නගරයට වැසි වසින්නේ කලාතුරකිනි. සන්ධ්‍යා නිවාඩු නිකේතනයට වැසි බින්දු වැටෙන අයුරු සපුමලී අසා සිටියේ දෙගිඩියාවෙනි.

යෞවනය දඟකාරය. දඩබ්බරය. ඊටත් වඩා හිතුවක්කාරය. කියන දේ නාසයි. සත්පට මාල දමා පෝරුවේ නැඟ කුලගෙට යන්නට සිටි සපුමලීගේ සියළු සිහින ඒ වැසිබර රාත්‍රියේ බොඳ වී ගියාය. ලරම පිවිතු ප්‍රේමය ඉදිරියේ පවිත්‍ර නිකැලැල් පාරිශුද්ධත්වය පූජා නගරයේදී සියි පෙම්බරා ඉදිරියේ පෙන්වා ප්‍රේමයේ යදමින් ඔහුගේම වූවාය. ආමන්තගේ ප්‍රේමණීය ඇරයුමට පිටුපෑවද ඔහුගේ දඟකාරකම් ඉවසන්නට තරම් ඇගේ සිත ප්‍රබල නොවූවාය. සඳ ඈටත් නොකියාම කතරගමින් පළා ගියාය. රැය පහන් වූයේ කඳුළු සයුරක් මවමිනි.

“මං ඔයා තනි කරන්නෑ මැණික”
“ඒත් සර්.. ඇයි මට මෙහෙම කලේ”
“මට සමා වෙන්න”



උපාධි ප්‍රදානෝත් සවයට සහභාගී වීම සඳහා පැමිණෙන ලෙස දන්වා එවා තිබූ ලිපිය පුංචි අනුකී තමාගෙන් උදුරා ගත් බවක් ඈට සිහි නොවූවාය. ලිපිය කියවන අතර තුර තමාට සරසිවි ජීවිතයෙන් ලැබුනු දේව ත්‍යාගය වන අනුකී නිම්සරා ලැබීම දක්වා කල්පනා ලොව බොහෝ සේ දුර ගොස් සිටියාය. සපුමලී කල්පන‍ා ලොවෙන් මිදෙන විට අනුකී විසින් ලිපිය කීතු කරමින් සිටියාය. සිරිසේන සිගිති මිණිබිරිය ඔසවා ගත්තේ සෙනෙහසිනි. අනේකවිධ බලාපොරොත්තු රාශියක් මැද ගේ දොර පවා උකස් කර උසස් අධ්‍යාපනයට යැවූ ලොකු දුව තමාට ත්‍යාග කලේ උපාධිය වෙනුවට සිඟිති අනුකී පමණී. අනේකවිධ නින්දා ඉවසමින් සිරියාවතී සිඟිත්තියගේ දඟකාරකම් දෙස බලා සැනසුනාය. ජීවිතය පටලවා ගත් පමණින් දියණිය අතැර දමන්නට තරම් ශක්තියක් දෙමාපියන්ට නැත.


“සීයා තාත්තා”
“ඇයි වස්තුවේ”
“අම්මා අඬනවා”
“මයේ පැටියා අම්මාගේ ලියුම ඉරුවනේ”
“මං ආයේ ඉලන්නේ නෑ සීයා තාත්තා. ඉතිං අම්මාට අඩනින එප‍ා කියන්නකෝ”
“හා මං කියන්නම්”
“සීයා තාත්තේ ... අපි හෙට කොහේද ය්නනේ”
“කවුද මයෙ දුවට කිව්වේ”
“ආච්චි අම්මා”
“අපි හෙට කතරගම යනවා. මයේ පැටියාට බාර උනානේ. ඒක ඔප්පු කරන්න”
සපුමලී ගැස්සුනාය. දෛවය තමන්ට සරදම් කරන අයුරු රුදුරු වැඩී නොවේදැයි ඈට සිතිනි.

Thursday, May 6, 2010

ආත්මීය සිතුවිලි


මිනිස්සු ජීවිතයට ඇති වෙන දුක බෙදා ගන්න විවිධ දේවල් කරනවා.සමහරු යා‍ළුවන් සමග දුක බෙදා ගන්නවා.අඩනවා. හූල්ලනවා. සමහරු පොත් ලියනවා. කවි ලියනවා.චිත්‍ර අඳිනවා. සමහර විට මාත් එහෙම වෙන්න ඇති. මේ හැම දේම කරන්න ඇති. කවි ලියන එක හිත හදා ගන්න සංරක්ෂණ ප්‍රයෝගයක් කියලා කැම්පස් එකේදී මනෝ විද්‍යාව දේශනයකදී ඇහුවා මතකයි.

කොහොම උනත් අපි කරන කිවන දේවල් වල හොඳ නරක දකින්නේ අපි අවට ඉන්න අය. අපේ අදහස් ස්පර්ශ කරන අය.‍ මට නමි හිත අපි ලියන දෑත් එහෙමයි. සමහරුන්ට ඇලජික් ඇති. සමහරුන් අගය කරනවා. ඒ නිසා බ්ලොග් කියවන සහෘදන් ඒ බව හොඳටෝම දන්නවා.

අහම්බයෙන් බ්ලොග් එකක් පටන් ගත්තා. පුරා වස්තු වෙමින් තිබූ කුරුටු ගෑ පද පේලි සංරක්ෂණය කරලා ඔයාලත් එක්ක බෙදා ගන්න හැදුවා මිස පොරක් වෙන්න හැදුවේ නම් නෑමයි. දයාබර ධම්මි අක්කා, දයාබර පවිත්‍රා, ඔබ නිසා තමයි සරසවි සිහින අළුත් වුනේ. කවුරු නැතත් මගේ නර්මාණ ඔබේ ගුණදොසින් වර්ණවත් වේවි. මේ දුක නොවේ.

කන්ටෙන්ට වෝර්නින්ග්

සැ.යු._ මගේ බ්ලොග් එකට කන්ටෙන්ට වෝර්නින්ග් එකක් ඇවිත්.සින්ඩියට අළුත් නිසා වැරදීමකින් සැකසුම වෙනස් වෙන්න ඇති.මගේ කවි රස විඳින යාළුවනේ මේක ඉවත් කර ගන්න උදව් කරන්න.ගොඩක් ස්තූතියි.

Wednesday, May 5, 2010

ලෙච්චමීට රෑ සඳ පාළුයි


මේ ලැයිම් කාමරේ හරි ශීතයි
ඉස්ටෝරුවේ මුර කවුළුව ඈතයි
සෙල්ල දොරේ හිත ගිනි උහුලයි
ලෙච්චමීට රෑ සඳ පාළුයි

තේ දල්ලේ කහට දෑතේ පුසුඹයි
ගිනි අව්වේ සැරට පුසුඹ මැකී යයි
මීදුම් සළු ගත තවරා එයි
මුළු පස්සර කඳු වැටියම නිසලයි

පොට්ටු තැබූ නලලත සිනිඳුයි
කොපුල් පුරා කඳුළු හැඩ කරයි
රටා පැදුර තනිව හූල්ලයි
මාරිමුත්තු කෝවිල නිහඬයි

Monday, April 26, 2010

සිහින හොරු අරන් ගියා


මීන නුවන් යුග අතරේ
නීල තඹර පෙති දිලිසේ
පාට සිඳුනු ආකාසේ
සිහින හොරු අරන් රහසේ

මානවිකා සිත් අහසේ
තාරුකා අතර සැඟවේ
නාඳුනනා තුනු සපුවේ
සෙනෙහස් කවි පද ගෙතුවේ

සීත සඳුන් නල රැල්ලේ
වියැළී ගිය කඳුලැල්ලේ
සොයමි ඔබ පිදූ සෙනෙහේ
අතීත සැමරුම් අතරේ

හදවත දැවී ගියාදෙන්




පිපි මල් පරව ගියාවේ
සඳ කැන් විසිර ගියාවේ
මදහස මැකී ගියාවේ
සිතුවිලි බොඳව ගියාවේ

මතකය අළුත් වුනාවේ
නෙතු අග ඉතිරි වුනාවේ
කඳුලැලි පතිත වුනාවේ
හිත අග දුක පිරුනාවේ

සිරි‍ පොද වැසි වැටුනාවේ
විහඟුන් ඉගිල ගියාවේ
අත්තටු සිඳී ගියාවේ
සුලඟක පාව ගියාවේ

Tuesday, April 20, 2010

මනමේ


දිවි ඇති තෙක් දුක බෙදා ගමු කියූ දේවි
මට විතරක් දුක දී ඔබ කොහි ගියෙ පේවි
යුග ගීයක කවි තනුවක් වෙමු කියූ සාවි
සඳ මඩළෙන් සැඟවී හැර ගියාද පාවී

හැඩි දැඩි වැදි රජු සමගින් පැන ගිය
රැවටී මිය ගියාය ඒ මනමේ කුමරිය
මියදුනා නොවේ තනිවිය සොඳුරිය
වේදිකාවේ කළු තිර රෙදි පියවිය

ධනුධර වුණි පෙර බරණැස් පුරවර
ඉදුවර දෙව් සිරි සැප විඳ සුර වර
ඉදහිට තවමත් වනයේ දකිමින් රූබර
තිර හැර බලනෙමි නර්තන පෙම්බර

සිඳ බිඳ දැමුවත් මා ගෙල වැදි රජ
ඉකිබිඳ හඩනා රැවටුන පියළඳ
සිහි කැඳවා තිරයේ හොල්මන් කර
තවමත් රඟනා මම මනමේ රජ

තුන් ඈදුතු




යුග යුග නිමා වී යයි කලි යුගය නිසා
අග හිඟ කමට සටනක යෙදනවා තිසා
ගම් පෙරලියේ සිතුවම් මිහිමඬල වසා
පුස්තක වල රැව් දේ තුන් කල් නොවසා

රන්දා මුදලි පට්ටම් දැවටුනු හින්දා
අනුලා තනිකඩයි පූරුවේ පව හින්දා
නින්දා පසෙකලා කුලගොත් බින්දා
පියල් සමග අතිනත ගත්තා නන්දා

පුරා සියවස් ගරා වැටිලා
වලව් බිම තන පුඳුරු වැවිලා
කලියුගෙන් ගම් පෙරලි වැසිලා
අන්ත‍ෙය් යුග නිමිති වැටිලා

Monday, April 19, 2010

කවදාවත් එහෙම වුනේ නෑ


අහස කළුවර වුන හැමදාම
වැහි වැටේවි කියලා හිතුවාට
කවදාවත් එහෙම වුනේ නෑ
රෑ වුනා විතරමයි...... .

මල් පිපුනු හැමදාම
සුවඳ දැනේවි කියලා හිතුවාට
කවදාවත් එහෙම වුනේ නෑ
සුළං හැමුවා විතරමයි.....

ඔබ සිහිවුන හැමදාම
සතුටක් දැනේවි කියලා හිතුවාට
කවදාවත් එහෙම වුනේ නෑ
සිත රිදුනා විතරමයි............

සඳ තරු හැංගී පෙම් කරනා


ඇසල ස‍ඳේ
රන් එලියට
නෙතු ගැටුනා
අප නොදැනිම
ඇසල සඳට
වහන් වෙලා
නෙතු සැලුනා
සඳ එලියට
සිත් යායට
නුඹ අවුදින්
තරු මඬලට
පෙම් කලාට
සඳට හැකිද
මල් අතරින්
එක මලකට
පෙම් කරන්න


අහම්බයෙන්............සිදුවී...........

තරු අකුරින් ලියූවෙමි


හිනහෙන්න දුන්න
අවසරය අරන්
ඔබ යන්න එපා
දුන් සතුට අරන්

මේ විසල් ලොවේ
සැඟවෙන්න එපා
මගෙ සිත් යායෙන්
සැඟ නොවෙන නිසා

නිල් අහස පුරා
තරු අකුරු සොයා
මේ ලියූ කවිය
සුන් කරනු එපා

අවුරුද්දට ගෙදර ගිහින් පරණ නෝට් ඇදලා බැලුවා.කැම්පස් එකේදි ලියපු කවියක් හමු උනා.අළුත් නැවක් ආවට පස්සේ ලියවුන මල් කවියක්.

Thursday, April 15, 2010

ගොළු හදවත



ඔබ ලගම ඇතැයි සිතෙයි
එහෙත් බොහෝ දුරයි
ඔබ අහම්බයෙන් පෙනෙයි
හදෙහි නිතර රැ‍ඳෙයි

ඔබ සඳවත සේ දිලෙයි
මහද අඳුර වෙසෙයි
නුඹ මගෙ සිහිනය නොවෙයි
එහෙත් මහද සැලෙයි

ඔබ වසන්තයක් වගෙයි
මට අහිමි වේද සිතෙයි
නුඹ තුෂර බිඳක් වගෙයි
හිරු සමගම සැඟවුනයි
මම අනන්තයටම දුවයි
නුඹ එතැනම හිඳියි

මගෙ මුවේ වදන් ගොළුයි
දෑසින් ඉඟි කරයි
මේ ආදරයද සිතෙයි
එහෙත් මටද සැකයි

තනි කමක් සිතට දැනෙයි
පාලුව ද කියා සිතෙයි
ඔබ ගැන මගෙ සිත සොයයි
ඔබ නොදන්නේද එයයි