සොඳුරු සරසවි අසපුව

සරසවි ජීවිතය සුන්දර මතකයක් පමණක් නොවේ. සොඳුරු යෞවණය ජීවය ලැබූ ඒ අසපුව මගේ හිතේ කවිකම පිළිසිඳ ගත්තා. එහිම උපන් කවි සිත අද කෙතරම් වැඩිවියට පත්ව ඇත්දැයි අදහා ගත නොහැක.සතුටකි. මිහිරකි. මවුනි ඔබ ඇකයේ සිට මැවූ සිහින බොඳවී විසිරුනා නොවේ මල් පල දැරුවා පමණි. ආයුබෝවන් රුහුණු සරසවි මවුනි ගරු.!

Wednesday, June 23, 2010

ආඩම්බර කඳුළු බින්දු


ආඩම්බර කඳුළු බින්දු ළඳුනි ඔබම තියා ගන්න
මන්දාරම් වැහි ලිහිණිය මට කියනවා එපා ගන්න
සාඩම්බර කඳු වලල්ල හන්තානේ හැඩ කරන්න
ඇන්දානම් බොඳ සිතුවම් සොඳුර ඔබම තියා ගන්න

නාඩන් බොළඳියේ කියා රෝස කොපුල්තල සිඹින්න
නෑ දැන් අවසර පුරසඳ මගේ ලයේ හොවා ගන්න
මංගල තැල්ලක් දවටා ඔබෙ මුහුණේ හැඩ බලන්න
ඔහුටම ඉඩ දී ළබැඳියේ මගෙ සිහිනය මටම දෙන්න

අෂ්ටක ගී මැද්දේ දෑගිලි...... රන්
මුදු පලඳවන්න
මස්තක පෝරුවේ නැග්ගේ කොහොමද කියලා අහන්න
ළඟට ඇවිත් මල් නැකතේ ඔබෙ කුලගෙට ගිනි තියන්න
මගට වෙලා හිටියට මනමාලියේ නුඹ බිය නොවන්න

Monday, June 21, 2010

පොසොන් සඳ


මිස්සක පව්වෙන් නැග එන දම් හඬ
ඇසේ ඇසේ මගෙ සවන පුරා
හිස් අවකාසේ පුරා රැව් දිදී දිදී
ඇසේ ඇසේ මිහි මඬල පුරා

වසන් කරන් සිත් සතන් කෙලෙස් මල්
නසන්න හොඳ කල් එළඹෙන්නේ
පසන් කරන් සිත් සතන් බොදු බැතින්
පොසොන් සඳයි අර නැග එන්නේ

නිවන් වලාවයි මහා මේරුවේ
ගැටී ගැටී අර නැග එන්නේ
ගිමන් නිවාලන දම් වරුෂාවයි
ලක් දෙරණේ අද විසිරෙන්නේ

මිහින්තලාවයි මහමේව්නාවයි
අම්බස්තලයයි සුදිලෙන්නේ
ගුවන්තලාවේ මහින්ද මහ සඳ
කරුණා දිය බිඳු වස්සන්නේ

සොලොස් කලාවයි සම්බුදු මහිමයි
විශ්කම් දෑතින් නිමවෙන්නේ
ගමයි පන්සලයි වැවයි දාගැබයි
බොදු දන හදවත් සනසන්නේ

Tuesday, June 15, 2010

සංසාර ගංදෑල සිට ලියමි

ගං දෑල සුන්දරයි සොඳුර නුඹ උන්දාට
රන් තලිය හැඩ කරයි නිල් දියට වැටුනාම
සැන්දෑව එන්නෙපා කඳුළු පිරි නෙතඟුලට
මං ගාව නැති නිසා තවම ඔය නිල් දෑස

නිල් ගුවන සරසසවා වැහි පබළු රැගෙන එන
පිල් විදා නටන රණ මයුරියේ ඔබ තුටින
සිල් බින්ද වරද මේ රැයෙහි සිහිපත් කරන
විල් තෙරම කළඹවා වැහි කඳුල පතිත වින

දෙව්පුදට හැමදාම මල් මාල ගෙතුවාට
සඳ තාම ඇයි නාවේ දෙටගමුව වැව ලඟට
ගෙව් පවට පෙරදාක කළ වරද නොසිතාම
බිඳ දමා ඇයි ගියේ මගේ දුක්බර හිතට

කප් සියක් කල් බලා ඉන්න බෑ සිත දරා
රත් පියුම් පෙති සැලී වැටෙන හැටි බලා බලා
කප්පරක් පෙම් පැතුම් නැගෙන හැටි බුර බුරා
රත්තරන් ඉන්න බෑ නුඹෙ සුවඳ සඟවලා

මල් පාර අද නෑ


මල හිරු බැස යන සැන්දෑ යාමේ
මතකද පෙම් බස් මිමිණූ උයන් තෙර

සයුරු තෙරින් පිස ආ නල සළ‍ඟේ
ඔබෙ කෙහෙරැලි මගෙ වත සිපගයි

තනා එදා අපි මනෝ මන්දිරේ
සැදූ කුළුණු බිම වැටී කිමැයි

මගේ හදවතේ ගැඹුරුම තැනදී
ඔබෙ සෙනෙහස මට පිටා පා යයි

ඔබේ වදන් වැල් අමුණා මා ලියූ
කවියේ පදවැල් මැකිලා යයි

මතකය බොඳවී යන්න ලඟයි
සැමරුම් නැති කර ගන්න දුකයි

Monday, June 14, 2010

සිව් වසරක් ගෙවී ගියා

අරුණැල්ලේ පිනි පලස් පුරා
පවනැල්ලේ සිරි අසිරි දරා
හසරැල්ලක් මුව මඩල පුරා
ඉපනැල්ල්ලෙන් ආ සුවඳ සරා

මල් පාරේ මල් සුවඳ සොයා
සෙව්වත් සරසවි උයන පුරා
සංසාරේ සෙව් පැතුම් සොයා
ගන්නට බැරි විය හිතේ දරා

සිත හිරි වට්ටන නෙතු නොවසා
ඉන්නට බැරිද කියන් පවසා
හදවත ගස්සන සොඳුරු දොසා
ඉන්නට නොකියා බැරිද මුසා

සිහින පැතුම් මල් පොදි අහුරා
ගව්සිය දුර ඔබෙ පැතුම් සොරා
ගන්නට ආ පෙර මග අහුරා
සරසවි සිව් වස ගෙවී ගියා




Thursday, June 10, 2010

සුදු මල් යට


මුර කවුළුව දෙස බලා
ඔබ එන මග පුල පලා
රිද්මෙට හද සැරසිලා
ඉන්නට බෑ තව බලා

පුර සඳ අර හිනැහිලා
ඔබය කියා රැවටිලා
මල් පාවඩ අතුරලා
බලා හිඳිමි රෑ වෙලා

මුදු සුවඳක පැටලිලා
රුදු රකුසෙකු වෙස් වලා
ලෝ දහමට නතු වෙලා
සුදු මල් යට සැඟවිලා


ගුරු තරුවක සැඟවිලා
දුරු කර ගණඳුරු වලා
මරු කතරේ වූ මුලා
මා හද සුවපත් කලා


තක්සලාව

මුනු මුනු වදන් මුළු මුළුවල
ඇමිණෙනවා
දිලි දිලි නුවන් මුතු මුතු සේ
දිදුලනවා
සුළු සුළු රැවුම් හරි හරියට මතු
වෙනවා
පුළු පුළුවන් ලෙසින් සැලි සැලි
හමු වෙනවා
අරලිය මල් කැකුළු තැන තැන
විසිරෙනවා
තුරුලිය හොරෙන් පිනි පිරි මල්
රැකදෙනවා
පිටු පිටු අතර පෙම් ගී වැල්
ලියැවෙනවා
දුටු දුටුවනම නෙතු පියවිලි
සැරසෙනවා
යුතු මතු වැඩ සිප්හල තුල
සැඟවෙනවා
සිත නතු කර ගත නොහැකිව
ලතවෙනවා

Thursday, June 3, 2010

මගේ හුස්ම රැඳී ඇත්තේ මේ කවි තුලය



මගේ හුස්ම
රැඳී අත්තේ
ඔබ ඉතිරි කළ
මතකයේ නොවේ
නුඹ නිසා මසිතේ
උපන්
තනුවක් නැති
කඳුළු වියලූ
මේ කවි තුලය

මගේ හදවත
වෙලී ඇත්තේ
නුඹ කියා දුන් ආදර
මතකයේ නොවේ
වරින් වර මසිතේ
රජ කරන
නුඹ රැඟුම් පෑ
හොල්මන් තුලය

මගේ පන නල
රැඳී ඇත්තේ
නුඹ උරුම කර දුන්
විරහ ගීයේ
රිද්මයේ නොවේ
නුඹ නිසා මසිතේ
ඉතිරි වූ
ආත්ම ශක්තිය තුලය




Wednesday, June 2, 2010

සිහින හොරු අරන් රහසේ

මීන නුවන් යුග අතරේ
නීල තඹර පෙති දිලිසේ
පාට සිඳුනු ආකාසේ
සිහින හොරු අරන් රහසේ

මානවිකා සිත් අහසේ
තාරුකා අතර සැඟවේ
නාඳුනනා තුනු සපුවේ
සෙනෙහස් කවි පද ගෙතුවේ

සීත සඳුන් නල රැල්ලේ
වියැළී ගිය කඳුලැල්ලේ
සොයමි ඔබ පිදූ සෙනෙහේ
අතීත සැමරුම් අතරේ

සිත් අහස



හිස්ම හිස්
ආකා‍සය වගේ
මගේ හිත
සුසුම් හඬ
අසන්න
විහ‍ඟෙකු වත්
නැති