සොඳුරු සරසවි අසපුව

සරසවි ජීවිතය සුන්දර මතකයක් පමණක් නොවේ. සොඳුරු යෞවණය ජීවය ලැබූ ඒ අසපුව මගේ හිතේ කවිකම පිළිසිඳ ගත්තා. එහිම උපන් කවි සිත අද කෙතරම් වැඩිවියට පත්ව ඇත්දැයි අදහා ගත නොහැක.සතුටකි. මිහිරකි. මවුනි ඔබ ඇකයේ සිට මැවූ සිහින බොඳවී විසිරුනා නොවේ මල් පල දැරුවා පමණි. ආයුබෝවන් රුහුණු සරසවි මවුනි ගරු.!

Wednesday, July 28, 2010

ඉපැරණි ගොළු හදවත


හිතුවක්කාරී මට විතරක් හිත දේවී
හිතුවත් දෙසිතක් කළඹා යන්නම යාවී
මෙතුවක්කල් මා හැර කොයි ගියා ද පේවී
හිතවත්කම් මඟහරින්න බෑ මට දේවී

ආලවන්ත ඇස් බැන්දුම හිරිවට්ටාවී
කෝල සිනාවට හදවත දෙපළු කරාවී
පාළු අහස් කුස මං විතරක් මොර දේවී
වාළුකා අතර පුර සඳ සැංගී යාවී

කන්ද කදිර දේවාලෙට මොණරුන් ඒවී
රණ මයුරිය කොයිද කියා මගෙන් අසාවී
පුදසුන මත පහන් සිළුව සුළඟ නිවාවී
දෙවියනි ඔබ දන්නවනම් කොහිද කියාවී

සරුවත් බොන්නට එන්නේ කවදද දම්මී
හදවත් ගොළු වූ හැටි කියලා දෙනු මැනවී
කතා පොතේ සුගත් මමයි එය ඔබ නොදනී
දැන්වත් හිත ගන්නට බැරිවෙද දමයන්ති

Thursday, July 1, 2010

ආදර වැස්ස

ආදරයේ මතක බින්දු අදත් වහිනවා
හෙටත් වහීදැයි හදවත ගිගිරුම් දෙනවා
දෙගොඩතලා සැඩ පහරට සේදී යනවා
වැටී කඳුළු බොර දිය කඳ තව වැඩි ‍වෙනවා

කලා සොලොස පිරුණත් පුර හඳ සඟවෙනවා
බලාපොරොත්තුවේ දෑස් දියට වැටෙනවා
ගලා හැලෙන වැහි කඳුලැලි සයුර සිඹිනවා
වසුන්දරා නිසොල්මනේ බලා ඉන්නවා

හීන පුරා හති වැටිලා හද රිදවනවා
පීර පීර තරු අතරේ ඔබව සොයනවා
කීරි ගැහුණු ගුවන්තලය ගැබ්බර වෙනවා
මීන නුවන් අළුත් වැස්සකට සැරසෙනවා
kuma