සොඳුරු සරසවි අසපුව

සරසවි ජීවිතය සුන්දර මතකයක් පමණක් නොවේ. සොඳුරු යෞවණය ජීවය ලැබූ ඒ අසපුව මගේ හිතේ කවිකම පිළිසිඳ ගත්තා. එහිම උපන් කවි සිත අද කෙතරම් වැඩිවියට පත්ව ඇත්දැයි අදහා ගත නොහැක.සතුටකි. මිහිරකි. මවුනි ඔබ ඇකයේ සිට මැවූ සිහින බොඳවී විසිරුනා නොවේ මල් පල දැරුවා පමණි. ආයුබෝවන් රුහුණු සරසවි මවුනි ගරු.!

Wednesday, March 31, 2010

හිස් අහසක තනිවූ විහ‍ඟෙකි



සඳ සඳවති
මම තරුවකි
ලං විය හැකි
දිනයක් නැති

නෙතු යුග පිපි
නිල් මල් පෙති
දැක සිත බැඳි
හදවත බිඳි

හිස් අහසකි
සියොතුන් නැති
නෙත් හමුවකි
කඳුලක් රැඳි

සිහිනයක්මැයි


ඔය නුවන් අසපුවේ
මට බවුන් වඩන්නට
හෙට පහන් වනට පෙර
අවසර ද කියන් මට
මගෙ සිහින කුමරියේ

නෙත් ගැටුනු දුම්රියේ
සිත් බැඳුනු එම දිනේ
පෙම් පැතුම් යදින්නට
අවකාශ නොවුනු කළ
මගෙ හිතද ගොළු වුනේ
හදවතද බොඳ කලේ

නිහඬ පොත් ගුලේ
මගෙ හිතට කවි පිරේ
නුඹ නමින් ගෙතූ
පෙම් කවිය ගයන්නට
තනුව වන්න මගෙ
සිහින කුමරියෙ

Friday, March 26, 2010

‍ප්‍රේමයේ පියවර...


ජීවය නුඹයි
නව පණ දුන්
මිලින ගිම්හානයට...
ප්‍රේමය ....නුඹයි
අඳුරු ලොව එකළු කල..
සඳක් සේ පුරපසේ
රාජ්‍ය .....නුඹයි
සිතුම් පොදි බැඳි සිතට...
සිතුමිණක් වූ
ආත්මය නුඹයි
අහිංසක මගෙ ලොවට
පුද බිමක් සේ සුවඳ කළ
රත්තරං ....නුඹයි
සත්තකයි පිළිගන්න
දිලෙන හිරු සේ ලොවට


2001.12.19 දින මාතර රුහුණු සරසවියේ නානායක්කාර ශිෂ්‍ය නේවාසිකාගාරයේදී පළමු පෙමට ගෙතූ තවත් බොළඳ කවක්.

ප්‍රේමයේ තිඹිරි ගෙයි උපන් කවි


සඳවතිය.....
සත්තයි ආදරෙයි මං
නුඹට අදහා ගත නොහැකි තරමට
දරා ගත නොහැකි තරමට
පෙම් පුරාවත්වලවත් නැති තරමට
නුඹ මා ලඟින් ඉන්නා තුරු
උතුරා ගලා යන තරමට
නුඹ නමින් බැ‍ඳෙන්නම්....
හැමදාම
උදාවිය සරස වසන්තය
අපි නමින්
ඉගිල යමු අපි පියා විදා
අපේම...අපේම...පාරාදීසයකට
මගේ රත්තරං......
ඔය උනුසුමට...ඔය සෙනෙහසට
කෙලෙසකද පිටුපාන්නේ
කෙසේදැයි දුර ඉන්නේ
ඉඩ දෙන්න එපා
ගිනි ගන්න අපේ පෙම
ඉවසන්න බැරි වේවි....
සැනසෙන්න හැකිවේද..?
කප්පරක් පෙම් සිතට රත්තරං
මගෙ ළඳුනි


2001.12.19 දින මාතර රුහුණු සරසවියේ නානායක්කාර ශිෂ්‍ය නේවාසිකාගාරයේදී පළමු පෙමට ගෙතූ බොළඳ කවක්.

Thursday, March 25, 2010

නුඹට පුතේ රටක් ඇතේ


වැසි වසින්නට ආසන්න වූ අහස් කුස වලාකුළු දරා සිටින්නට නොහැකි තරමට ගැබ්බර ය. පීඩාවෙන් පෙලෙන අහස් කුස මෙන් රේවතීගේ කයත් සිතත් රිදුම් දෙන්නට වූවාය. ස්කන්ධ නිසා රිදවා ගත් තේවානි අම්මාන් වෙනුවෙන් තැනූ කෝවිලේ තවමත් හැඬුම්බර දෙනෙත් දල්වා සිටින තේවානි අම්මා මෙන් සිය පනනල වන් ආදරේ දන් දෙන්නට සමත් වූ යේ මේ තරම් වේදනා දරා ගෙන යැයි සිතෙන විට සාඩම්බර කඳුලකින් සිනාසෙන්නට තරම් ශක්තියක් කෙසේ ලැබුනේද යන්න ගැන පුදුම සහගතය. නික්ම යන්නට පෙර තවත් වතාවක් කිරි වෙහෙරට යා යුතු බව රේවතීගේ යටි සිත මොර ගෑවාය.

සඳවතිය පැරදූ කිරි වෙහෙර ශාන්තියට ඇසිල්ලකින් නැගුනු ගිණි ජාලයෙන් ශාන්තිමත් සිසිලසකින් සුවපත් වන්නට වූවාය. ගැබ්බරක් ඔසවා ගෙන සුදු සාරියකින් සැරසී සිටි ඇය දෙස බලන කිසිවෙකුත් ඈ දමිළ යුවතියකැයි නොසිතනු ඇත. සැමරුම් වගවලසුන් විසින් වනසන ලද රේවතීගේ ජීවිතය දෙස ආපසු හැරී බල්නනට තරම් නොතිත් ආශාවකින් පෙලෙන්නට වූයේ කිරි වෙහෙර අබියසට පියනගනාවාත් සමගමය. පිය ගැට පාමුලදී සිය නිරුවත් දෙපා දෙස බැලුනේ ඉබේටමය.

මුල් වරට මෙතැනට පැමිණි දා සිය පා සළඹ සෙලවූ කිංකිණි හඬ බවුන් වඩමින් සිටි බැතිමතුන්ගේ දැහැන් බිඳි අයුරු ඇයට සිහි විය. ඊට මසකට පෙර තමිල්නාඩු සරසවියේ උසස් අධ්‍යාපනය ලබමින් සිටි තම ලොකු අයියා විසින් තෛපෝංගල් උළෙලට සැරසීම සඳහා තමාට ගෙන දුන් ඉන්දියන් සල්වාරිය හින්දු කෝවිලේ විවේකාගාරයේ ගලවා දමා සුදු සාරියක් හැඳ ගත්තේ දෙවියන්ට වරදක් කිරීමට සිතා නොවේ. නිල් ඉරි වැටුනු රතු පාට මල් ඉහිරිනු සල්වාරිය දෙවරක් සිඹ අයියාගේ ශාපයට සමුදී සුදුවතට මාරු වූයේ දේව ශාප ලත් දේව දාසියක විලසිනි. යුධ බිමේදී සංවිධානයේ විලංගුලා සිටි රේවතීට මෙම ඇඳුම අඳින්න‍ට නොලැබිනි. කනස්සල්ල පහව ගියේ එම වෛවාරණ ගවුමට වඩා සාරියේ සැහැල්ලු බව විඳීමෙනි. එහෙත් පා සළලඹ ගලවා ඉවත් කරන්නට අමතක වූ වෙස් වලා ගත් දමිළ යුවතිය කිරි වෙහෙර පිය ගැටපෙල අභියස වරදකාරීයක වූවාය. මෙකල විශේෂ කාර්ය බලකා සෙබළුන්ගේ මුර සේවය කිරි වෙහෙරට ද ලබා දී තිබිණ. මෙසේ වූයේ තමන්ගේ වරිගයේ උන් නිසා යැයි බරපතල චෝදනාවක් තමාටම පවරා ගත් යුවතිය සංවිධානය විසින් පවරන ලද රාජකාරිය වහා සිහියට ගත්තාය.

කිරි වෙහෙරේ පුර සඳ මත
තවත් අළුත් සඳක් පායලා
සිලිලාරේ ගිගිරි සලඹ
කිංකිණි හඩ රඟ නංවාලා......

ප්‍රතාපවත් නිළ ඇඳුමකින් සැරසුනු තරුණ යුධ සෙබලාගේ මුවින් මේ තරම් මොලොක් ගී වදන් පිට වූයේ තමාට බව වැටහුනේ, ඉලක්කට එල්ල බලා සිටි යුධ සෙබලා සහ තමාගේ සිව් නෙත් ගැටී විදුලි සැරද විසිරුණු පසුය.

උත්තර භාරතීය සංගීතය ඇතුළු ඉන්දියානු සංගීතය පමණක් උගත් තමාට සිංහල ගීත අසන්නට ලැබුනේ අහම්බයෙනි. යාපනයේ ගුවන් විදුලි සම්ප්‍රේෂනාගාරය සිය සගයින් විසින් විනාස කරන ලදුව සිංහල ගීතයක් අසන්නට ලැබුනේ නැත. මඳකට පෙර දඩබ්බර මිලිටරි කාරයා විසින් ගයන ලද ගී පදවැල් කිසිදිනක අසා නොතිබුනද ඒ තුල ගැබ් වූ සියුම් සෞන්දර්ය වටහා ගන්නට තරම් රසිකත්වයක් තමා සතු වීම පිළිබඳ ඇය සතුටු වූවාය.

“කිරි වෙහරට එනකොට ගිගිරි සලන්න කීවේ කවුද.....”
ඒ හඬ රුදුරු නොවේ. එහෙත් ගොරහැඬිය. නිසැකයෙන් මෙහු දුම් පානය කරන්නෙකු යැයි අනුමාන කරන්නට හේතු වූයේ තම සංවිධානයේ සෙබළුන් ද අධික ලෙස දුම් බොන්නන් නිසාවෙනි.

“සොරි”කීවා නොවේ සිතුවා පමණි.
“ම්..ම්..හ්..”
“සොරි”

යුවතියගේ ගොළු බව තේරුම් ගත් සෙබලා සමාව ඉල්ලුවේය. සුදුවතින් සැරසුනු දහස් ගණන් බැතිමතුන්ගෙන් උඩමළුව පිරී ඉතිරී ගොසිනි. ඇයට යාපනයේ මාරිමුත්තු කෝවිල සිහි විය. වෛවාරණ හා පච්ච වර්ණයෙන් සැරසුණු හින්දු බැතිමතුන් හා මෙහි සිටින දහස් ගණන් බෞද්ධයන් ‍අතර වෙනසක් දකින්නට උත්සහ කර හිස රිදවා ගත්තාය. උත්සහය නිෂ්ඵල විය. ඇඳුමින් පැලඳුමින් හැර දෙපිරිසේම වෙනසක් නුදුටුවාය. පොල් තෙල් පහන්, සුදු මල්, හඳුන් කූරු දල්වමින් වන්දනාමාන කරන මොවුන් හා කපුරු පෙති දල්වා පොල් ගෙඩි අතැතිව පූජා වට්ටියක් ගෙන සිටින හින්දූන් අතරේ වෙනස වටහා ගන්නට තරම් තමා මේරු එකියක් නොවේ යැයි අස්වසා ගත්තාය. කෝවිලේ සාමී හා පන්සලේ හාමුදුරුවන් අතරේ වෙනස සොයන දර්ශනයෙන් ඵලක් නැත. තමන් ආ කර්තව්‍ය කර පලා යායුතුය යන හැඟීම ක්ෂණයෙන් සිතට එළඹ ගත් රේවතී දහස් ගණන් බැතිමතුන් වැඳුම් පිදුම් කරන තැන් හා යුධ සෙබළුන් ස්ථානගත වී ඇති තැන් සිය අධිවේගී ජංගම දුරකථයේ සටහන් කර ගත්තේ කෙටි පනිවිඩයක් යවනවාටත් වඩා අධි වේගයෙනි. ගොළු කෙල්ලක වශයෙන් රගපෑමට සිදු වූ බැවින් කෙටි පණිවිඩ යැවීමෙන් අන්තර් සන්නිවේදනය පවත්වාගෙන යාමට රේවතීට සිදු විය.

බැතිමතුන් අතරින් පීරා එතැනින් ඉවත් වන්නට බොහෝ වේලාවක් ගතවිය. එක්වරම නෙළුම් මල කඩා ඉවත් කළ නටුවක් පය ගැටීමෙන් ලිස්සා නොවැටී බේරුනේ අනූනවයෙනි.

“ම්ම්මා...........”
“ම්ම්මා...........නෙවේ මම ආකාශ්”

කිරි වෙහෙර පිවිසුම් දොරටුව අසල සේවයේ යොදවා සිටි මිලිටරි කාරයාගේ දඬු අඬුවට හසු නොවන්නට මේ වන විටත් රෝහල් ගත වන්නට ඉඩ තිබිණි. රළු දෑතින් මිදුනේ ඊයක වේගයෙනි. එහෙත් එය හිතූ තරම් පහසු නොවිණි. වැටුන වේගයට බියෙන් ඉතා තදින් ඔහුට වාරු වන්නට ඇත. බියත් සැකයත් මුසුවු රේවතීගේ හෘදස්ඵන්දනය වේගවත් වූවාය. සෙබලාගේ උනුසුම සිය නැහැපුඩු හරහා හදවත් කුහර තුලටද කාවැදිණි.

“ම්ම්ම්..”
ඇය ගොළු බසින් සමාව ඉල්ලුවාය. රාක්ෂයෙකුට වරදක් කර හසුවූ දේවදාසියක පරිද්දෙන් ඔහු පසු කර ඉදිරියට ඇදුනාය. කුඩා කළ ලොකු ආච්චි අම්මා විසින් කියා දුන් එවැනි කතාවක් ඇයට සිහි විය.

“බය වෙන්න එපා, ගිලින්නේ නෑ”

“ගිල්ල තරම ඇති” යි සිතමින් පසුපසා නොබලාම ඉදිරියට ඇදී ගිය රේවතී අහම්බයෙන් සිය යොවුන් සිත කිති කවන ලද දේහධාරී යෞවනයා දෙස නැවත හැරී බැළුවාය. එකෙනෙහිහිම සෙබලා විසින් නෙළුම් දණ්ඩ යුවතිය දෙසට දමා ගැසුවේය. වහා නෙළුම් එය අහුලා ගත් යුවතිය නෙළුම් දණ්ඩ උරුක් කර තරවටු කලාය. නෙළුම් දණ්ඩ අතට ගත් යුවතියගේ පාද යාත්‍රාව නතර වූයේ ගණ දේවාලය අසලට පැමිණි පසුය. 0716456352 නෙළුම් දණ්ඩේ ඉරටයකින් කුරුටු ගාන ලද ජංගම දුර කථන අංකය දෙතොලින් දෙවරක් පමණක් මතුරා අසල කසල බඳුනට දැමුවාය.
“පයිත්තියන් කාරයා”
සිය නලලත මකා දැමූ තිලකය නිසා සිය සඳවත පාළු වී ඇති බව සිහි වීම නිසා ගණ දේවාලයේ පූජකවරයාගන් තින්නෝරු තවරා ගෙන ඊට උඩින් ත්‍රිශුල රූපයද තබා ගත්තාය.
“උඹ කොහොම හරි ආර්මි කාරයා දැලේ දාගනින්”
“මීට වඩා හොඳයි උඹලා මාව මරලා දැම්මානම්”
“උඹ බය වෙන්න එපා මේක අපේ අන්තිම සටන,........”
“විමුක්තිය කියලා අහිංසක මිනිස්සු මරන්න මට බෑ”
“එහෙම නැතිව ඊලම අපිට ලැබෙන්නේ නෑ......අපේ පලිය අපිට ගන්නත් බෑ.......”
“මට බෑ...........මට බෑ...........”
“අමතක කරන්න එපා උඹ ඊලාම් සිහිනේ...........හ්ම් ”
“එන්නෛ පෛත්තියකාරන් ආක්ක වේණ්ඩාම් (මාව පිස්සියක් කරන්න එපා)”

හින්දු කොවිලේ දේවදාසියක වී මසක් පමණ ගත වුවද තමාට පැවැරුණ රාජකාරි ඉටු කරන්නට නොහැකි විය. රාජ කාරියත් දේව කාරියත් අතර ගෙවන ජීවිතය එපා වෙන්නට වැඩි දවසක් ගත වූයේ නැත. ධර්මපාල කපු මහතාගේ කපු නිවසේ ‍ මෙහෙකාරිය වීම සැපතැකැයි සිතා තේවානි අම්මාන් කෝවිලට සමු දුන්නාය. ඉන්දියානු සම්භවයක් සහිත හරිහරන් සාමි වරයා සහ තම කණ්ඩායම සමග සබඳතාවය ඇති වූයේ කෙලෙසද යන්න පිළිබඳ සැකය ඇති වූයේ දින කීපයක සිටය. දේව දූතයෙකු සේ රැඟුමක යෙදෙන මිණිමරු පූජකයා ගේ රුදුරු වෙස හඳුනා ගන්නට කතරගම දේව සභාව අසමත්වීම පිළිඳ සියුම් උපහාසයක් රේවතීගේ සිතට නැගී ආවාය. වෙට්ටියෙන් සැරසී කර බැඳි පූන නූලත් සහිතව තේවානි අම්මාන් කෝවිලේ ප්‍රධාන පූජකයා වශයෙන් ස්තෝත්‍ර ගයන දේව දූතයා යටින් මතුවෙන ලේ පිපාසිත රාක්ෂයා මතු කර ගන්නට තම නායකායටවත් නො හැකිවනු ඇත.

“කපු මහත්තයෝ.. මේකි මගේ නංගිගේ පණ. ඇහැක් වගේ බලා ගන්න ඕන. කතා කරන්න බැරි උනාට මේකිට හැම දේම හොඳට තේරෙනවා. ” සාමිගේ අමූලික මුසාවත් කපු මහතාගේ අඥානභාවයත් පිළිබඳ ඇය උපහාසාත්මක බැල්මක් හෙලීය.

“දෙයිවංගලින් ආසිගල් උංගුලුක්කුන් කිඩෛක්කට්ටුම් (දෙවියන් ඔබට ආශීර්වාද කරත්වා)” සාමීවරයාගේ මුවින් පිටවූ ආශීර්වාදයේ සත්‍යක් තිබේදැයි දැන ගැනීමට මෙන් මහළු සාමී වරයාගේ මුහුණ දෙස එක එල්ලේ බලා සිටියාය.

කාෂ්ඨක තල් අරඹත් කතරගම කාෂ්ඨකයත් අතර සිසිල සෙවීමට නොහැකිය. ගින්නට ඇවිලී යන්නට ඉඩ දී බලා නොසිට සුරිඳුන්ගේ ශුද්ධ බලයෙන් ඔද තෙද නැංවූ නුපුරුදු නගරයට ආලය කරන්නට සිතින් සැරසුණා පමණි. මැණික් ග‍ඟේ හෙල පාමුල ඉදිවුනු ප්‍රධාන කපු මහතාගේ සොඳුරු නිවහන දෙවැනි වූයේ ස්කන්ධ දිව්‍ය විමානයට පමණැකැයි සිතුනු වාර අනන්තය. එම විසල් නිවසේ තමාට කරන්නට විශේෂ රාජකාරීයක් නොවීය. සංවිධානයේ පන්තිවලට සහභාගී වී ලැබූ දැනුමට වඩා ගැහැණිය ලෙස සහජයෙන් ලැබූ දෑ නිසා කල් නොයා කපු නිවසේ දුහිතෘවක් වන්නට සමත් වීම පිලිබඳ රේවතීට වඩා සතුටු වූයේ දකුණු භාර සිය සගයා වන පෙරුමාල්ය. ගොළු කෙල්ලක සේ නිහඬව සිටින්නට වීම පිළිබඳ දේවසාමි වරයාට ශාප කලාය.

“විහංගි අක්කාට ඔයාගේ අයියා ද මේ පෝන් එක අරන් දුන්නේ”
හය හතර නොතේරෙන පුංචි අප්සරාගේ වදන් රේවතීගේ විමුක්ති කාමී අහංකාරය බිඳ දැමූ වාර අනන්තය.
“අක්කා අඬන්න එපා අක්කට ඉක්මනට කථා කරන්න පුළුවන් කියලා තාත්තා අම්මාට කියනවා මං අහගෙන”
“කාටද හාමිනේ විහංගී කියන්නේ” යි කපු මහතා සිය බිරිඳගෙන් විචාලේය.
“රේවතී කිරිල්ලියෙක් වගේ කියලා චූටි දූ කියනවා. මගෙන් ඇහුවා කිරිල්ලියකට කියන වෙන නමක් තියෙනවද කියලා. මම කීවා විහංගී කියලා දාන්න කියලා” එතැන් සිටන් රේවතී විහංගී වූවාය.

අප්සරා තුරුළු කරගෙන නෙතින් ගලා හැලෙන කඳුලූ වලට ඉබාගාතේ යන්නට ඉඩ හැර ගත් රේවතී සිය ළමා අවධිය සංවිධානයේ දණ්ඩ නීතියට හසු වූ කාලකණ්නී රාත්‍රිය සිහිය කලාය. සාම්පූර් නගරයට සිංහල හමුදාව පහර දුන් දවසේ හමුදාවට මුවා වී සංවිධානයේ ලේ පිපාසිතයන්ට තම අම්මා සහ තාත්තා බිලි වූයේ පස් අවුරුදු රේවතීගේ සිහි මඳ කරමිනි. එකල සංවිධානයට විරුද්ධව රජයට ඔත්තු සැපයූ බවට සේකරන් නැමැති යාපනයේ කච්චේරියේ ප්‍රධාන ලිපිකරුවාට චෝදනා එල්ල කලේ සංවිධානයේ ප්‍රාදේශීය භාර නායකයා විසිනි. සේකරන් ඇතුළු තවත් දෙමල රාජ්‍ය සේවකයින් රැසකට මේ චෝදනාව එල්ල විය. සේකරන් දරුවන් දෙදෙනෙකුගේ පියෙකි. උසස් පෙල සමත් වී රාජ්‍ය ලිපිකරු විභාගය ද සමත් වූ තරුණ සේකරන් මුල් පත්වීම යාපනයේ කච්චේරියට ලැබ ගත්තේ එකල දකුනේ සහ උතුරේ තිබූ සිංහල ‍ දෙමළ සබඳතාවය නිසාවෙනි. සේකරන් ඌර්වසී නැමැති ලිපිකාරිණිය සමග විවාහ වී දෑවුර්දදකින් භාස්කරන් ද ඊට දෑවුරුද්දකින් රේවතී ද ලදුව සතුටින් කල් ගෙවූ පවුලකි. එහෙත් රට පුරා අවිලුණ යුද ගින්නට හසු වී තමන්ගේ වුන් අතරින් ම ඇගේ දෙමාපියන් මොලොව හැර ගිය පසු තමන් සංවිධානයේ අත්අඩංගුවට හසු වූ වාය. ඇගේ දෙමාපියන් සිංහල හමුදාව අතින් මැරුම් කෑවේය යන විෂබීජයෙන් සිය මොලකැටි හිත රිද්දවූ බව දැන ගත්තේ වැඩිවියට පත් වූ යුවතියක් වීමෙන් ද පසුය. සංවිධානය විසින් භාස්කරන් ද අත්අඩංගුවට ගත් අතර ඉගෙනීමට උපන් හපන් සොයුරා තමාගෙන් ඈත් කර විදේශ ගත කලේය. එහෙත් තම සොයුරා සංවිධානයේ බුද්ධි අංශයේ නායකයෙකු බව රේවතී දැන ගත්තේ මෙම කාර්ය ඉටු කිරීමට අණ දුන්නේ භාස්කරන් බව දැන ගැනීමෙන් ද පසුය.

සැඳෑ සේල පටලය දකුනු අහස වෙලා ගෙන ඇත. එහි චමත්කාරය රිසි සේ විඳින විහඟුන් පිලබඳ සියුම් ඉරිසියාවක් සිතට දැනිනි. විහඟුන් සේ නිදහසේ සරන්නට නොහැකි වීම පිළිබඳ පශ්චාත්තාපයක් හට ගත්තේ ආකාශ් දෙවන වරටත් සිය නෙතු දෑලේ පැටලුනාට පසුය. සීලවතී කුපු මැතිණිය සමග රාත්‍රී මුරුතැන් පූජාවට සහභාගී වූ රේවතීගේ විලංගු ලූ කෝල සිත දඩබ්බර යුධ හමුදා සෙබලා ඉදිරියේ විසිරී ගියාය. තමා ශාරීරික අපහසුතාවට ලක් වූ දිනයක් වූ එදින දේවාලය තුලට පිවිසීමෙන් වැලකී සිටියාය. මුරුතැන් ගේ අසල රැඳුනු‍ රේවතී පෙරුමාල් ඇමතුවාය‍ පෙරුමාල් යනු සංවිධානයේ දකුනු භාර නායකයාය.

“මං හොඳින්”
“ඉක්මන් කරපන්”
“බස් එක කතරගමින් පිටත් වෙන්නේ උදේ හතට. ගල්ගේ ලඟට යනකොට අටයි හතලිහ වෙනවලු.”
“හරි මුරුගන් වැඩේ කරාවි”
ඇමතුම ලබා ගෙන පියවරක් තැබීමට ඉඩ නොලැබිණි.
“නපුරා මගේ පස්සෙන්මයි” තමාටම මුමුණා ගත්තාය. ආකාශ් රේවතී දෙස දයාර්ද බැල්මක් හෙලුවේය.
“කෝ කපු හාමිනේ”
“ම්හ්.. ම්හ්..” දේවාලය දෙස පෙන්වා ගොළු වදන් තෙපළුවාය.
“මට රින්ග් කරන්න මම ඔයාට එස්එම්එස් කරන්නම්”
දෙවරක් මතුරා මතකයේ තබා සිටි නම්බරය ඇමතුවාය.
“ඹ්කේ බබා දැන් යන්න”
දේවාලයේ පිවිසුම් දොරටුවෙන් පිටවන්නට ඉඩ නොලැබිනි.
“.............අයි ලව් යූ මයි ස්වීට් හාර්ට්..............”
උංගුලුදු සිරිප්පුක්කු නාන් විරුප්පම් (ඔබේ සිනහවට මම කැමැතියි)” කියන්නට සිත් වී නමුදු ඇගේ මුවින් ඒ වදන් පිට නොවූවාය.

ආකාශ්ගේ කෙටි පනිවිඩ හරහා ගලා ගිය සෙනෙහෙ ගඟ දින සති අවෑමෙන් විමුක්ති කාමී රාජකාරීයත් ඊලාම් සිහිනයත් බොඳ කලාය. එහෙත් ගෝනගං ආර බස් බෝම්බයෙන් සිදු කළ මිනිස් සංහාරයට අත් උදව් දීමේ පාපයෙන් වැලකී සිටින්නට නොහැකි වූවාය. ඊට සංවිධානයෙන් ලද කෙටි පණිවිඩයක් “නල්ලම් (හොඳයි)” ලැබුනු පදක්කම ගෙල පලඳා ගන්නට තරම් කාලයක් ගත නොවීය. උතුරේ යුධ ගිනි ඇවිලී ගිය අතර කොළඹ නගරය අමු සොහොනක් කරන්නට තම සංවිධානය විශාල උත්සහයක් ගෙන තිබිණි. රේවතී උමතු වූවාය. ඇගේ හදවත් කුහරයෙන් නැගි ආ මරණයේ බයංකර බව ඉවසා සිටියේ ආකාශ් නිසාවෙනි. රෑපවාහිනිය නොබැලීමට තීරණය කලේ විසල් ආලින්දය ඇතුලත කපු පවුල ඉදිරියේ තමා අසරණ වෙනු ඉවසිය නොහැකි නිසාවෙනි.
“බබා මාව කොළඹට ට්‍රාන්සර් කරලා”

ආකාශ්ගෙන් ලැබුනු කෙටි පණිවිඩය ඇගේ රිදුනු සිත තවත් ඔද්දල් කලාය. පෝය දිනයක් වූ එදින පූජා භූමිය පුරා දහස් ගණන් බැතිමතුන්ගෙන් අතුරු සිදුරු නැතිව පිරී තිරී ගොස් තිබිණ. දේවෝපහාරයට පිදෙන සමන් මාලය ද රැගෙන අප්සාරි සමග දේවාලයට පිවිසෙත් ම අප්සාරි සිය අප්පච්චිගේ සුරතෙහි දැවටුනාය. අවසරයෙන් රේවතී ආකාශ් වෙත ලං වූවාය.

“මම ඔයා අමතක කරන්නේ නෑ රත්තරං”
“ඔයා ව තව සතියකින් මගේ ලඟ”
අසරණ තේවානි අම්මාන්ට පින් සිදු වන්නට පිලිරුවට පිටුපා ආකාශ්ගේ උනුසුමට ගුලි වූවාය. උතුරා හැලෙන කඳුලු වැල් මැණික් ගං දියට පා කර හැර දේවාලයේ පැන් පොදක් ඉසගෙන කපු මහතාගෙන් කඳුලු වසන් කර ගත්තාය. කඩවර බෝධිය ලඟට ගොස් පෙරුමාල් ඇමතීය.

“මට තවත් ඉවසන්න බෑ”
“එහෙම කියන්න එපා මෙහේ යුද්දේ ඇවිලිලා ආර්මි එකෙන් අපි වට කරලා ඉන්නේ
“මට බයයි”
“හිත ශක්තිමත් කර ගනින්. මුරුගා උඹව බලා ගන්නවා” ඔහු මුරුගා යැයි පැවසුවේ කතරගම දෙවියන්ටය.
“නී ඔරු පෙරිය තොල්ලෛ (උඹ මහ වදකාරයෙක්)”

එදින කතරගම පූජා භුමියේ රාජකාරියට ආයුබෝවන් කියා ආකාශ් කොළඹ ප්‍රධාන කාර්යාලයට වාර්තා කළ බව කෙටි පනිවිඩයකින් දැනුම් දුන්නේය. රේවතී පිළිබඳ වග විභාගයකින් තොරව ඇයට පෙම් කලේ ඇය දමිල යුවතියක් බව දැන ගෙන නොවේ. මේ වන තුරුත් ඇය පිළිබඳ විශාල දෙයක් ඔහු දැන සිටියේ නැත. ඔහු දැන සිටියේ රේවතී දේවාලයේ කපු මහතාගේ ඥාති දියණියක් බව පමණි. කෙසේ වුව ද ගිනි අවියට රළු වී තිබූ කයත් සිතත් දෙකම සුව පත් වූයේ ඇය නිසාය. ඔහුට ඇත්තේ පවසට ලද පැන් පොදක් සේ රේවතීගේන ලැබුනු සෙනෙහසත් එහි උනුසුමත් පමණි. එයින් මිදෙන්නට ශක්තියක් ආකාශ්ට නොමැත. ආත්මීය බැඳීම හුදෙකලා කර යන්නට සිදු වීම ගැන දුකත් සියුම් වේදනාවත් විසින් බස් රථය කොළඹට යන තුරුම ඔහු වේදනාවට පත් කරන ලදී.

රාත්‍රිය මූසලය. උපන්දා සිට තල් වැට මායිමේ වෙඩි හඩට කන්දී වල් වැදී සිටි මූසල රැයවල් සිහි වූවාය. අම්මා තාත්තා හා අයියා සිහිවිය. කඳුලු සිර කර හදවත දැඩි කර ගත් ඈ ආලින්දය පසු කර නිවසෙන් එලියට බැස ගත්තාය. රාත්‍රි 12 කණිසම වැදෙනු ඇසිණි. අවුරු දු 60 ක් පමණ වයසැති සියාතු නැමැති මුරකරු ගොරවමින් නින්දකට වැටී සිටියේය. පෙරුමාල් අමතා සියළු දෑ පැවසූ නමුත් ආකාශ් වෙත බැඳී ගිය අවංක බව වසන් කලාය. ඇය නිවසට ඇතුල් වන විට රාත්‍රී පූජාව අවසන්ව කපු මහතා නිවසට පැමිණ සිටි අතර නිවස තුල කලබලයක් දක්නට ලැබුනි.
“හරිහරින් සාමි පූජාව වෙලාවේ පොලිසියෙන් අල්ලා ගෙන ගියා”
තමන්ගේ හදවතට ද රුදුරු බෝම්බ අංශුවක් වැදී ගිය කලෙක මෙන් ගැස්සී ගියද නිවැසියන්ට වෙනසක් නොපෙන්වූවාය.
“මම හහ් මමම”
“ගෝනගං ආර බස් එකට ගහන්න ඔත්තු දීලා තියෙන්නේ සාමියි තව දෙමල කෙල්ලලෙකුයි කියලා ලංකාදීපේ තිබුනලු අද”

එම දෙමල කෙල්ල තමන් බව දැන ගතහොත් කුමකින් කුමක් සිදුවේදැයි සිතා ගත නොහැකි විය. තලෙයි මූද අයිනේ රජයේ නිවාස වල පදිංචිවි සිටි රේවතීට බස්සන්ගේ හඬ අසා හොඳ පුරුද්දක් තිබුනද මේ රාත්‍රියේ කතරගම දෙවොල් බිමේ කාවාඩි නද පරදා නැගී එන බස්සන්ගේ රැව් දීම ඉවසා සිටිය නොහැකි විය. ඇය තීරණයක් ගත්තේ දෙවරක් නොසිතා ය. යාපනේ සිට රැගෙන ආ කිසිවක් කපු මහතාගේ නිවසට නොගෙනා නිසා ඇයට රැගෙන යන්නට තරම් දෙයක් නුවූවාය. සීලවතී මෑණියන් විසින් තමාට ලබා දුන් රන් තෝඩු දෙක ගලවා තැබූ රේවතී රාත්‍රි ඇඳුමින් මිදී සල්වාරියට මාරු වූවාය. නිවසේ සියළුම දෙනා සාකච්ඡාවෙන් පසු නින්දට වැටී සිටියහ. ජංගම දුරකථනයත් ඇඳුම් කීපයකුත් ගමන් බෑගයකට අසුරා ගත් රේවතී හරිහරන් විසින් සකස් කර දුන් ව්‍යාජ හැඳුනුම්පතද අතැතිව මඟට බැස්සාය. නියඟය නිසා කේඬෑරී වී ගිය තණ බිමේ අඩි තැබුවේ සෙරක පරිද්දෙනි. හොඳින් වැවී තිබූ තණ බිමේ වියළී ගිය තණපත්වලින් නැගෙන සර සර හඬ රේවතී බිය වැද්දුවාය. අප්සාරි සමග හවස් කල දුව පැන ඇවිදින ලද ගෙමිදුලින් පිට වෙනවිට අප්සාරිගේ සිනා හඬ සිහි වී නෙතඟ කඳුලින් තෙත් වන්නට ගත වූයේ නිමේෂයකි. කතරගම බස් නැවැතුම්පල පසු කර ඉඳහිට සයිවර් කෑම ගැනීමට ගිය හින්දු විශ්‍රාම ශාලව ලඟට එනතුරුත් රේවතී සිහි විකල් වූ එකියක මෙන් හැසිරුනාය. බස් නැවතුමේ රැඳී සිටියහොත් කිසිවෙකුත් තමන් හඳුනා ගන්නට බැරි නැත. ඒ නිසා මඳ දුරක් ඔබ්බට ගොස් බස් රථයට නැග ගන්නට සිතා ගත්තාය. හින්දු විශ්‍රාම ශාලාව අසල රැඳීමට ද බියක් පහළ විය. ඇය මඳ දුරක් ඉදිරියට පිය නගනවාත් සමග බස් නැවතුම්පලෙන් කොළඹ බලා පිටත් වූ බස් රථයක් ඇය පසු කර ගොස් මීටර 100 පමණ ඈතින් නැවැත්වීය. වහා දුව ගොස් බසයට නැග ගත් යුවතිය ඉදිරි පෙල අසුනකට බර දී සුසුමකින් සිත සැහැල්ලු කර ගත්තාය. අළුයම උදා වෙමින් තිබූ ඒ මොහොතේ සුලඟ විසින් හිරි ගඩු නංවන ලද ඇගේ සිරුරට මහත් වෙහෙසක් දැනෙන්නට විය. සීතල මැඩගෙන තදින් දෙනෙත් පියා ගත් යුවතිය මගීන්ගෙන් පිරි තිරී තිබූ බස්රථයේ අඳුරින් කඳුළු වසා ගත්තාය. මෙතෙක් කලක් සිය දියණියක සේ රැක ගත් කපු මහතා සහ එම මැතිණිය මෙන්ම අප්සාරී නිස‍ා නැගුනු එකී කඳුලු බිඳු අතරින් තමන් විසින් ඔවුන් අරභයා කරන ලද පාපයන් අමතක කළ නොහැකිව ළත වූවාය. ආකාශ් වෙත කෙටි පනිවිඩයක් යැවූයේ බසය මොරටුව නගරය පසු කරනවාත් සමගය. තමා විසින් මේ අවස්ථාවේ කරනු ලබන කිසිවක් සංවිධානය නොදන්නා බැවින් බියත් ත්‍රාසයත් නිසා මෙහෙයවන සිතට හිතුවක්කාරකම් කරන්නට ඉඩ දුන්නාය.

රේවතී රැගෙන මහරගම ගුරු විද්‍යාල පාරේ තම හිතවතාගේ නිවසට යනවිට ආකාශ්ට නැගුනු කිසිදු ගැටළුවක් ඇගෙන් අසන්නට හිත ඉඩ නොදුන්නේය. තමා නැති දුක දරා ගත නොහැකි අසරණිය තමා සොයා කොළඹ පැමිණි බව සිතු ආකාශ් සිතට නැගුනු ගැටළුවලින් ඇයගේ හිත රිදවන්නට අකමැති වීය. නවාතැනට ගිය ගමන් රේවතී ආකාශ්ගේ ළයට තුරුළු වූවාය. පිස්සියක මෙන් අතොරක් නැතිව තරුණයා වැලඳ ගත් රේවතී ඔහුගේ දෙපාමුල වැඳ වැටුනාය. තවමත් ගොළුවත රකින රේවතී සියල්ල පැවසීමට සිතා ගත් සිතුවිල්ල නැවත බැහැර කරන ලද්දේ තම සුපෙම්වතාගේ නොතිත් ආශාවන් උපන් ගෙහි මරා දමන්නට ලෝබ කමක් ඇති වූ බැවිනි. එදින දවස පුරා දෙදෙනා උනුසමින් වෙලී නිද්‍රා ගත වූව ද වරදක් නොවීමට දෙදදෙනාම වග බලා ගත්හ.

“අපි බඳිමු”
රේවතීගේ දෑස් පුරා ඇඳී ගිය රිදී රේඛාව යටින් වැටුනු අඳුරු වලාව තේරුම් ගන්නට ආකාශ්ට නොහැකි විය.
“අදම බඳිමු”

සියල්ල ආකාශ්ට පවරා දෙන්නට සිතු රේවතී තමන් පිළිබඳ සියළු සත්‍ය පාපොච්චාරනයට කරන්නට උත්සහ කලාය. කපු මහතාගේ නිවස තුල මේ වන විට කුමන තත්වයක් ඇති වී තිබේදැයි සිතමින් නැවතත් එය වේගයෙන් අමතක කර දැමුවාය. එලඹන මොහොතේ ආකාශ්ගේ පතිනිය වීමට සියුම් ආශාවකින් මඩනා ලද සිත් ඇතිව සිහිල් දිය ගත තවරා ගත්තාය. මහරගමට ඇද හැලුන මුරුගසං වරුසාවත් තද සීතලත් නිසා උඩු කය නග්න දේහ ධාරී පිරිමියාගේ පිරිමි කමත් ඉදිරියේ රේවතීයගේ පුහුදුන් සිත මෙල්ල වූවාය. දමනය කළ නොහැකි වූ රාගී සිතුවිලි වලින් හැඟීම් පිබිදී ගිය ඒ රාත්‍රිය උතුරා ගිය සඳ දිය විල්තෙරේ සැතපී ගත් දෙදනා බොහෝ වේලාවක් එකිනෙකාගෙන් වෙන් වන්නට නොහැකිව දුක් වූහ .

ආකාශ්ගේ උතුරා ගිය ශක්තිමත් තාරුණ්‍යයේ පහසට නතු වී යුවතිය ගැහැණියක් බවට‍ පත් වී ගත වූයේ හෝරාවකට ද අඩු කාලයකි. යාපනයේ යුද්ධය ඇවිලී ඇති බවත් එදින මධ්‍යම රාත්‍රියේම යාපනය බලා යායුතු බැවින් තමා ප්‍රධාන කාර්යාලයට කැඳවා තිබිණී. රේවතී සිහසුන් වන තරමේ අපහසුතාවට පත් වූවාය.

“මම ඉක්මනට එනවා. ආපු ගමන් ඔයාව මැරි කරනවා රත්තරන්”
“ඔයා මෙහේ ඉන්න මාධවී අක්කා ඔයා බලා ගනී”

හෝරාවකට පෙර තරුණයා නිසා ලැබූ උණුසුමෙන් පුමුදිත වී සිටි රේවතී ඔහුට සමු දුන්නේ හිත දැඩි කර ගෙනය. දැන් කිසිවක් පවසන්නට වෙලාව නොවේ. තමන් විසින් කරන්නට සූදානම් වූ පාපොච්චාරණය මොහොතකට අකා මකා දැමූ රේවතී ඔහුගේ දෙපා මුල වැඳ වැටුනාය.

“මට සමා වෙන්න ‍පැටියෝ මම ඉක්මනට ම ඔයා බඳිනවා”
ආකාශ් යාපනය බලා ඒ මැදියම් රැයේ පිට වූයේ සිතකින් නොවේ. රේවතී විසින් පුබුදුවන ලද හැඟීම් මොහොතකට අමතක කර දැමූවේය. ඇගේ නලලත සිපගත් ඔහු නිවසෙන් පිට විය. ආකාශ් කොළඹින් නික්ම ගොස් සතියක් ගෙවුනු පසු ඇයට කෙටි පනිවිඩයක් ලැබුනි.

“මට එන්න වෙන්නේ නෑ දැන්ම. ඔයා බය වෙන්න එපා මාධවී අක්කා ඔයා බලා ගනී”
පෙම්බරා තමා හැර දා ගොස් දෙමසක් ගත වුව ද ඔහු පිළිබඳ කිසිදු තොරතුරක් නොලැබීමෙන් රේවතී අසරණ වූවාය. උතුරේ යුද්ධය බිහිසුනු වී ඇති බව පුවත්පත් සහ රූපවාහිනියෙන් දැන ගත් රේවතී වඩා අසරණ වූවාය. මේ දිනවල ඇය කායික වශයෙන් දුර්වල වූවාය. මාධවීගේ බල කිරීම මත ආසිරි රෝහලට ගිය රේවතීගේ හද දෙවොල නැවත වරක් ඇවිලුනාය.
“ක්‍රැන්ගැජුයුලේෂන්! ඔයා අම්මා කෙනෙක් වෙලා”
මවක් වීම තරම් ගැහැණියකට සතුටු විය හැකි වෙනත් කාරණයක් නොමැති වුවත් රේවතීට එම සතුට බුක්ති විඳින්නට තරම් සැනසිල්ලක් නොවීය.

ආකාශ් සේවය කල යුධ හමුදා සේනාංකයට ත්‍රස්තවාදීන්ගෙන් විශාල ප්‍රහාරයක් එල්ල වූ බව දැන ගත් දිනයේ රේවතී සිහසුන් වූවාය. එම ප්‍රහාරයෙන් සිංහල හමුදාව 50 දෙනෙකු මිය ගිය බවත් 200 පමණ කොටින්ගේ අත් අංගුවට පත් වූ බවත් අත් අඩංගුවට පත් අය අතරේ ආකාශ්ගේ නම ද රෑපවාහිණි තිරයේ දිස් විය. එම පුවතින් රේවතී මෙන් ම මාධවී ද අන්ද මන්ද වූහ. රේවතී අස්වැසීමට මාධවී ගත් සියළු වෑයම් අසාර්ථක විය. මැදියම් රැයේ පෙරුමාල් ඇමතූ රේවතී,

“ආකාශ් මරන්න එපා..” යැයි හඬා වැලපුනාය. තමන් ආකාශ් නිසා ගැබ් ගත් බව හෝ ඔහු සමග ‍බැඳීමක් ඇති කර බවක් නො පවසන්නට වග බලා ගත්තාය. පසු දින නවාතැන් පෙලේ තිබූ නිවාස සෝදිසි කල බවත් සැක සහිත කොටි කතක් සොයන බවත් මාධවී අක්කා පවසන ලදී. කඳුලත් සුසුමත් අතර දරු ගැබට සය මසක් ගත් වුවත් ආකාශ් පිළිබඳ කිසිදු තොරතුරක් ලබා ගැනීමට ඇය අපොහොසත් වූවාය. එක් දිනක විශේෂ සෝදිසි මෙහෙයුමක නිරත වූ නුගේගොඩ පොලිස් නිළධාරීන් සිය නවාතැනටද පැමිණියහ.

“මේ ලෙෆ්ටිනන් ආකාශ් ගේ වයිෆ්”
මාධවී අක්කා හඳුනන පොලිස් නිළධාරියා නිසා ඇයට ජීවත් වීමට තවත් අවස්ථාවක් ලැබුනාය. අත් අඩංගුවට පත් සිංහල සෙබළුන්ගෙන් සියයක් පමණ නායක තුමාගේ අණ පරිදි ජීවිතක්ෂයට පත් කළ බවත් තවත් 100 පමණ පලා ගිය බවත් පෙරුමාල් විසින් කණ තැබුවාය. මේ දෙපිරිස අතරින් ආකාශ් කුමන කණ්ඩායමට අයත් වූවා දැයි ඇසීමට සිත් වුව ද ආකාශ් නියත වශයෙන්ම තමන් සොයා නැවත පැමිණෙන බව තරයේ විශ්වාස කල නිසා එම පැනය නො අසාම පෙරුමාල්ට සමු දුන්නාය.

එහෙත් තමන්ට නිදහසක් නොලැබෙන බව වටහා ගත් රේවතී දැඩි තීරණයක් ගත්තාය. තම සංවිධානය කිලෝ මීටර් 20 කන් සිර වී සිටින බවත් යුද්ධයේ අවසානය ලං වී ඇති බවත් මාධය හරහා දැන ගත්තාය. ආකාශ් පිළිබඳ සොඳුරු මතකයන් සිය වැඩී එන කුස පිරි මැදීමෙන් අළුත් කර ගත් රේවතී හමුදා බුද්ධි අංශ වෙත සියල්ල පවසා දකුනේ සිදුව න්නට යන මිනිස් සංහාරය වලකා ගන්නට සිතා ගත්තාය. සංවිධානය පිළිබඳ සියළු තතු පාපොච්චාරනය කර සිදු වන්නට යන විනාශය වලාකා ගන්නට සිතුවාය. තමන් විසින් කරන ලද පව් සෝදාගෙන රටට ආදරය කරන්නට කාලය එලඹ ඇතැයි ද මෙය ආකාශ්ට කළ හැකි ඉහළම ගෞරවය වනු ඇතැයි ද එක හිතින් තීරණය කළාය.

මාධවී අක්කා මඟහැර සායනයට යන මුවාවෙන් පිටකොටුව බසයකට නැග ගත් රේවතී යුධ හමුදා මූලාස්ථානයට යෑමට ශක්තිමත් සිතක් සකස් කර ගත්තාය. එකෙනෙහිම තමන් පාපයට හසු වූ කතරගම දෙව භූමිය සිහි විය. තමන් නිසැකවම අත්අඩංගවට පත් වනු නො අනුමානය. එසේ වූවහොත් දෙවියන්ගෙන් සමාව ගත නොහැකි වනු ඇත. ක්ෂණයකින් කතරගම බස් රථයකට ගොඩ වී කතරගම බලා යන්නට පිටත් වූවාය. කායික වෙහෙස ඉවසා දරාගෙන කිරි වෙහෙර සමාධියෙන් හිත සුවපත් කර ගත්ත ද කුස තුලින් නැගී ආ වේදනාව ඉවසා සිටීමට මහත් වෙහෙසක් ගැනීමට සිදු වූවාය. හින්දි චිත්‍රපටයක දිග හැරුන රෑපාවලොකනයක් මෙන් අතීතය සිහි කරමින් බිඳී විසරී යන ජීවිතය පිළිබඳ ආත්මානුකම්පාවෙන් හදවත වෙලී ගියාය.

“නංගී ඔයා කොහෙද ගියේ ආකාශ්ගේ බොඩි එක කොළඹට ගෙනෙල්ලා”

මාධවී අක්කාගේ ඇමතුම කුස තුලින් නැගි ආ වේදනා තීව්‍ර කරවීය. ඒ සමග අහස පුරා ඇදී ගිය විදුලි ධාරා‍වකින් පූජා භූමියම අඳුරු වලාවකින් වැසී ගියේය . මාධවීගේ හදිසි ඇමතුමෙන් ලද කම්පනය දරා ගත නොහැකි වූ රේවතීගේ විළි වේදනාව වැඩි වූවාය.


ජීවිතය නිදහසේ පාවී ගිය සරුංගලයක් මෙන් ගුවන සිප ගත්ත ද ඈත ගුවන් ගැබේදී මහා මේඝයක වැදී සිඳී බිඳී ගියේය. අදිසි චණ්ඩ මාරුතයෙන් සරුංගලය පෙනී නොපෙනී ගියේ එහි තටුවක් හෝ ඉතිරි නොකරමිනි.

අතීතයත්වර්ථමානයත් අතරින් යහපත් සමෝධානයකින් ඇගේ ජීවිත කතාව නිම කිරීමට රේවතීට නොහැකි වූවාය. තමා නොදැනුවත්ව හෝ දැනුවත්ව දේශයට කරන ලද විනාශය පිළිබඳ පසුතැවීමට වඩා නිදහසේ කාහල නාදය දසතින් ඇසෙන අවස්ථාවේ කල පව් කමා කර ගන්නට කාලය එළඹ ඇතයි රේවතී සිතුවාය. පෙරදා තමා විසන් රජයේ බුද්ධි අංශ වෙත, තම සංවිධානය විසින් ක්‍රියාත්මක කිරීමට යෝජිත විනාශකාරී සැලසුම් සහ මෙතෙක් සිදු කරන ලද ක්‍රියාවන්ගේ පාපොච්ඡාරන‍ය සහිත ලිපිය වහා සිය තණපටින් එලියට ගත්තාය.

පිරිමි දරුවෙකු ප්‍රසූත කල රේවතී ඒ මැදියම් රැයේ ‍සදහටම දෙනෙත් වසා ගත්තාය. සිංහල දෙමළ රුධිරයේ සංයුතියෙන් කතරගම රෝහලේදී එලිය දුටු කිරිකැටි බිළිඳා සිය මව මෙලොව හැර ගිය බව නොදැන හඬන්නට වූයේය. රේවතී විසින් අවසන් වරට සටහන් කරන ලද ලිපියයේ අවසන් වැකි පෙලින් සාත්තු සේවිකාව ‍ෙමන්ම ඇය භාරයේ සිටි පොලිස් නිළධාරිනියගේ ද දෙනෙත් කඳුලින් තෙත් කලහ.

“මගේ දරුවා සිංහල ද දෙමල ද කියන්න මං දන්නේ නෑ. ඒත් ඔහු මේ දෙජාතියේ ම වෙන් කල නොහැකි සංකේතයක්. ඔහු මෙලොව එලිය බලන කොට මං සිරකාරියක් වේවි. ඒත් මගේ දරුවා සිරකරුවෙක් වෙන්නේ නෑ. මොකද ඔහු මේ ලෝකේ දිහා දෑස් ඇරලා බලනකොට මේ රටේ හැමදෙනාටම වගේ ඔහුටත් නිදහසේ හුස්ම පොද ලැබෙන හින්ද. ඒ නිසා මගේ පුතා නිදහස් මිනිහෙක් වෙන එක වලක්වන්නට කාටවත් බෑ. මගේ මුවින් මව් ගී අහන්න ඔහුට නොලැබුනාට ලංකාව පුරා ඇහෙන නිදහස් ගී වලින් ඔහු නැලවේවි. මගේ දරුවාගේ තාත්තා ඔහු ලඟ නැති උනත් ඔහු රැක බලා ගන්න හොඳ පියෙක් පහල වෙලා ඉන්න බව මං දන්නවා. මගේ රත්තරං පුතේ උඹ බය ‍ෙවන්න එපා. උඹට අම්මයි තාත්තයි නැති උනාට ජීවත් වෙන්න රටක් ඉතිරි වෙලා තියෙනවා.”

නව අරුණළු නැඟි දෙරණේ
සාම‍යේ ගී දසත ඇසේ
නුඹ තනි නැත ලක් දෙරණේ
නුඹට පුතේ රටක් ඇතේ

නම් ගම් සිදුවීම් ස්ථාන සියල්ල මනහ්කල්පිතයි

Wednesday, March 24, 2010

ඇලපාත මුඳලි


දෙතොලතර රැඳුනු කවිකම්
ඔබ නිසා වසමි අදනම්
මට තවම නොමැත තනිකම්
මඟ යනෙන බමරු ලඟ මං

මගෙ කවට වදන් අසමින්
අම නිවණ අතැර දමමින්
නුඹ කරපු මෝඩකම් නම්
සිහිව නැගෙයි හසකැන්

සිප් සතර ඔබේ මනරම්
ගුරු පඩුරු පුදමි සසොබන්
මාතර යන අවදානම්
ගමනට නැත සූදානම්

ගජමන් නෝනා


දෙතොලතර රැඳුනු කවිකම්
කොයි සැඟ වුවාද ගජමන්
තුන් මංසලේ ඔබ තනියෙන්
පිළිමයේ නොමැත හසකැන්

පින් කසාවතට සමුදුන්
ඇලපාත මුදලිඳු මං
හරි හැඩයි ඔබේ කවිකම්
නොව පැරණිය හඩ මනරම්

සිප් සතර දුන්නු ගුරුකම්
පන්හි‍ඳේ තුඩග අමුනන්
නුඹ නමින් ලියන කවි පෙම්
පොත බලන්න මාතර යං

Friday, March 5, 2010

හමුවීම සහ වෙන්වීම


හිතේ තිබුන දුක් ගින්දර නිවා ගන්න ආවා තමයි
මැණික් ග‍ගේ දිය මතු පිට ඒ දුක සැඟවුනා තමයි
කිරි වෙහෙරේ උඩ මළුවේ පහනක් දැල්වුනා තමයි
දේවාලේ පිය ගැට ලඟ සිව් නෙත් යාවුනා තමයි

පූජා වට්ටියක් අරන් කඳ සුරිඳුන් පිදුවා තමයි
ලිපිනයවත් ඉල්ල ගන්න ඒ පින මදි වුනා තමයි
පත්තිනි මෑනියන් ඇවිත් අපිට උදව් කලා තමයි
සෙල්ල කතරගම දෙවොලෙදී ආයෙත් හමු උනා තමයි

වන්දනාවේ ආ හින්දා පුර සඳ හමු උනා තමයි
සඳ එලියට මුවා වෙලා දෙසිතක් යා වුනා තමයි
පිරුවටයේ නිකැලැල් බව තියන්න බැරි උනා තමයි
දිවි ඇති තෙක් එකට ඉන්න රන් කඳ බැරි උනා තමයි

Wednesday, March 3, 2010

කන්ද උඩරට කුමාරි


මන්දාරම් වැසි වසිනා
සෙංකඩගල සිරි බලන්න
හන්තානේ කඳු මුදුනේ
සුළං සමග පොර බදන්න
නාදුනනා කවිකාරිට
මාල පොටක් පලඳවන්න
ආසයි මට කුමාරියේ
ඉක්මනටම ලඟට එන්න

මහවැලි ගං ඉවුරු දිගේ
ඔබේ දෑතේ වෙලී යන්න
මුමුන මුමුන ගී පද වැල්
වැව රවුමේ ඇවිද යන්න
නුවර වැවේ පෙමින් වෙළුන
හංස ජෝඩුවට කියන්න
ආසයි උඩරට මැණිකේ
කෝච්චියෙන් නුවර එන්න

රුහුණු පුරේ කතරගමේ
සුරිඳු අපට පිහිට වෙන්න
දළදා හාමුදුරුවනේ
අපේ දුරස් බව මකන්න
ඇසළ පෙරහැරට එනකම්
නුවර මැණික බලා ගන්න

Tuesday, March 2, 2010

නීල දෑස්


සරෝජනී නීල දෑස මට දෙනවද තියා ගන්න
නිළුපුල් මල් දෙකක් වගේ හරව හරවා හැඩ බලන්න
නුරාගිනී හැඟුම් වසා හිස අද්දර තියා ගන්න
සඳුන් කොකුම් තවරාලා සඳපානේ මට සිඹින්න

මැණික් ග‍ඟේ පේවීලා දේවාලෙට අපිත් යමුද
වන්දනාවේ නඩේ සමග කාවඩි සෙල්ලම් කරන්න
කිරි වෙහෙරේ මල් කෙල්ලන් ඔය ඇස් දෙක මිල කරයිද
සැන්දෑවේ අඳුර එක්ක හූල්ලන්න සිද්ධ වෙයිද

සඳපානේ සඳළුතලේ ඔයත් එක්ක තරු ගනින්න
ගිමන්හලේ තිනි වුනොතින් ඉක්මන් කර මට කියන්න
තරු රෑනේ දිලිසි දිලිසි ආකාසේ බබලවන්න
බැරි උනාට මටත් හිතයි නඹෙ ලඟට වෙලා ඉන්න