සොඳුරු සරසවි අසපුව

සරසවි ජීවිතය සුන්දර මතකයක් පමණක් නොවේ. සොඳුරු යෞවණය ජීවය ලැබූ ඒ අසපුව මගේ හිතේ කවිකම පිළිසිඳ ගත්තා. එහිම උපන් කවි සිත අද කෙතරම් වැඩිවියට පත්ව ඇත්දැයි අදහා ගත නොහැක.සතුටකි. මිහිරකි. මවුනි ඔබ ඇකයේ සිට මැවූ සිහින බොඳවී විසිරුනා නොවේ මල් පල දැරුවා පමණි. ආයුබෝවන් රුහුණු සරසවි මවුනි ගරු.!

Friday, September 17, 2010

ඇය පවිත්‍රා නම් වූවාය...........



ශ්‍රවණාගාරය පුරා පැතිරී තිබුනේ දැඩි නිහඩ බවකි. ශාලාව වසා පැතිර ගිය අඳුර නිසා එහි රැඳී සිටින කිසිවෙකුත් හඳුනාගත නොහැකි වුවත් එය අතුරු සිදුරු නැතිව පිරී පවතින බව සතර දෙසින් ඇසෙන මුනු මුනුවෙන් තේරුම් ගත හැකිය. වේදිකාවේ තිරය මෑත් වන්නට ගත වන වේලාව වැඩි නොවේදැයි පූජිතට සිතේ. නේවාශිකාගාරයේ සිට පැමිණීම නිසා පිටුපස අසුනක් ලබා ගැනීමට නොහැකි වීම පිළිබඳ පූජිත පසුතැවිලි වූයේය. ප්‍රමාද වීම නිසා ඔහුට ලැබුනේ පහත මාලයේ ඉදිරිපෙල අසුනකි. තමා අසල අසුන් ගෙන සිටින දෙදෙනාවත් අඳුනා ගත නොහැකි තරමටම ශාලාව අඳුරු වී තිබුණි. තම ජීවිතයද මේ අඳුර මෙනැයි පූජිතට සිතිණි. වරක මේ ගණඳුරේම සඳක් පායා ආලෝකමත් වූ ආකාරය පූජිත සිහි කලේය. එකල තම සිතේ පායා තිබූ පුන් සඳ නිමේෂයකින් මෙම වේදිකාවේ පායනු ඇත. එහෙත් නැවත වරක් තම අඳුරු සිත එළිය නොවනු ඇත. පූජිතගේ මුවින් සිහින් සුසුමක් පිවිය. එකනෙහිම ශ්‍රවනාගාරයේ අඳුර මකාලමින් වේදිකාවේ තිරය මෑත් විය.
සුරඟන සුදු මල් පාවාඩය මත වැටී උන්නාය. ඈ වටා උන් පරිවාර ස්ත්‍රීන් ඇට පවන් සලති. සුරඟන අවදි වන බව පෙනෙන්නට නැත. පසුබිමින් සිහින් සංගීත රාවයත් සමග සුර කුමරු වේදිකාවට අවතීර්ණ වූයේ සක්විති රජෙකු පරිද්දෙනි. පරිවාර ස්ත්‍රීන් ලතාවකට වේදිකාවෙන් ඉවත් විය. සුර කුමරු පහත් වී සුරුඟනගේ දෙතෙ‍ාලට මුව ලං කලේය. පූජිත වේගයෙන් දෙනෙත් පියා ගත්තේ එවන් අවස්ථාවක් අපේක්ෂා නොකළ බැවිනි. ශවණාගාරය පිටුපසින් එකවරම විසිල් නාදයක් අසී නෑසී ගිය අතර වේදිකාවේ ඇසුණු සංගීත රාවයද එකවරම තීව්‍ර විය. සුර කුමරාගේ චුම්බනයෙන් මත් වූ සුරඟන රාගික බැල්මක් ඔහු වෙත පෑවාය. කුමරු ද සුරත පා සොඳුරිය පිළිගත්තේ සෙනෙහසිනි. කුමරිය නැගිටින විටම සකලාංගයේ පැළඳ සිටි අබරණින් වේදිකාවම කහ පැහැයෙන් දීප්තිමත් විය.

............................................
............................................
සිඹිමි නා පෙති - අමා මී පෙති
සැලී සියොලඟ - දැවී අළු විය

ප්‍රේමාලිංගනය සමග වේදිකාව පසෙක හුන් ගායක පිරිවර ගැයූ ගීයේ ශෘංගාරාත්මක අවසන් පද දෙපදය පූජිතගේ හදවත අළු කලේ ක්ෂණයකිනි.

කලා උළෙල විචිත්‍රවත් කළ මුද්‍රා නර්ථනයෙන් ප්‍රේක්ෂකාගාරයම අමන්දානන්දයට පත් වී උන්න ද පූජිත පමණක් දැඩි වේදනාවට පත්ව සිටියේය. පූජිත සිය ඇඟිලි තුඩු වලින් දෙනෙත් පිසදා ගත්තේය. “ඉඩෝර බිම නිවාලන කඳු රැල්ල” නිමාවට පත් වූයේ පූජිතගේ ගතත් සිතත් ඉඩෝරයට ඇද දමිනි.

ඔහුට ශවණාගාරයෙන් පිටවීමට බොහෝ වේලාවක් ගත විය. ශාලාවෙන් පිටතට ඇදෙන ප්‍රේක්ෂකයන් අතරින් පිටතට පැමිණෙන විට දෙවන වසර සිසුන් පවිත්‍රා සහ කවීෂ වට කරගෙන සුබ පතනු දක්නට ලැබිණ. පූජිත ඔවුන්ට සිතින් පමණක් සුබ පැතුවේය. ඒ හදවතින්මය. ඔවුන් සුබ පතනුයේ සරසවි කලා උළෙලේ හොඳම නර්තනාංගයට නොව සරසවි උයනේ සුපිපි අළුත් සුපෙම්වත් යුවලට නොවේදැයි පූජිත තමාගෙන්ම විචාලේය. “ඉඩෝර බිම නිවාලන කඳු රැල්ල” ආරම්භ වන විට පූජිතගේ පෙම්වතිය වී උන් පවිත්‍රා උළෙල අවසාන වන විට කවීෂගේ පෙම්වතිය වී උන්නාය. මේ බව සහෘදයන්ට මතක නැතිවා මෙනි.

වේදනා බර දර්ශනයෙන් සිත ඔත්පල කර ගත් පූජිත පිය ගැට පෙල බැස ගමන් කරන්නට විය. අතීතය සිහි කරමින් වේදනා විඳීමෙන් පලක් නැතැයි ඔහට නොසිතුනා නොවේ. අවසන් වසර විභාගයට ඇත්තේ තවත් මාස දෙකක් පමණි. ඉනික්බිති මේ සියල්ල හිස් අහසේ පා වූ බොල් සුළඟ මෙන් විසිරී යනු ඇත. ප්‍රථම ප්‍රේමයෙන් විදින ලද චිකිත්සාවන්හි වේදනාව පහ කිරීමේ කල් එළඹ ඇත.

“පූජිත අයියා”
“පූජිත අයියා............ඔහොම ඉන්න”

පවිත්‍රා පිළිබඳ මතකය අකා මකා දමමින් කල්පනාකාරිව ගමන් කළ පූජිත සෞම්‍යාගේ කෑ ගැසීමෙන් පියවි සහි ලද්දේය. සෞම්‍යා පිය ගැට පෙළ දිගේ පූජිත දෙසට වේගයෙන් දුව ආවාය.

“වැටෙයි ළමයෝ............”

පූජිතට කිය නිම කිරීම‍ටත් පෙර පිය ගැට දිගේ වේගයෙන් දුව ආ සෞම්‍යාට පාලනය කර ගත නොහැකි වූවාය. සිය පා ලා සිටි පාවහන් එකිනෙක ගැටෙන අයුරු පූජිත බලා සිටියේය.
“ආ.......යි”
පූජිතගේ ශක්තිමත් දෑතේ යදම් මත සිර නොවුනානම් සෞම්‍යා ඇද වැටෙනු ඇත.

“ තව පොඩ්ඩෙන් බෙල්ල කඩා ගන්නවා”
“මං දන්නවා අයියා ඒකට ඉඩ නොදෙන බව”
“පණ්ඩිතකම් කියවන්නත් එනවා තව........ මට තමුසෙගේ පිස්සු වැඩ අල්ලන්නේ නෑ”
“තමුසේ..?”
“ඔව් තමුසේ තමයි”
“මං දන්නවා තමුසේ කියන්නේ මට ආදරේට බව”
“මං යනවා”
“එපා මට ඔයත් එක්ක කතා කරන්න ඕන”
“මට මහන්සියි”
“මං දන්නවා”
“දන්නවනම් කරදර නොකර යනවකෝ”
“මියුසිකල් එක පටන් ගන්නකම් ඉන්නේ නැද්ද”
“මට පාඩම් කරන්න තියෙනවා”
“ඔයා ගිහින් පාඩම් කරන්නේ නෑ”
“ඔයා කොහොමද දන්නේ”

සෞම්‍යා සුරතින් පූජිතගේ සුරත දැඩිව අල්ලා ගත්තාය. ‍ඇය හිතුවක්කාරය. කියන දේ නාසයි. අයගෙන් මිදී පලා යන්නේ කෙසේදැයි පූජිත දහස් වර කල්පනා කළ ද කිසියම් උපායක් සිහියට නොනැගීම පිළිබඳ පසුතැවිලි වූයේය. සරසවි ජීවිතයේ තම සිසිල කලේ පවිත්‍රාය. පවිත්‍රා අවදි කළ ජීවිතය ඇයම මරා දමා ඇත. සෞම්‍යා උත්සහ කරන්නේ ඇයගේ මිතුරිය විසින් නිදි කරන ලද තම සිත අවදි කරන්නටය. පවිත්‍රා සමග පෙමින් බැඳී සිටියේ වසරකට ආසන්න කාලයක් පමණි. පවිත්‍රා හා තමා පිළිබඳ සියළු මතකයන් පිළිබඳ දැන දැනත් මේ හිතවක්කාර කෙල්ල තමා පසුපස එන්නේ මන්දැයි වරෙක සිතේ. සෞම්‍යාගේ දිගු කෙස් කළඹ හමා ආ සුළං පහරින් පූජිතගේ මුහණ පුරා පැතිරිණි. ඉන් වහනය වූ පිච්ච මල් සුවඳ නොවිඳ සිටීමට තරම් සිතක් පූජිතට නොවීය. පවිත්‍රාගේ හිසින් වහනය වන්නේ ද මෙබඳුම සුවඳකි. එකම නේවාශිකාගාරයේ එකම කුටියේ සිටින යෙහෙලියන් එකම වර්ගයේ විලවුන් භාවිත කරනවා වන්නට ඇත.

“පවිත්‍රා ඔයා දාලා ගියාට දුක් වෙන්න එපා පූජිත අයියේ”

ඔවුන් සෙමින් සෙමින් බුදු මැදුර පසු කර පහළට බැස යන අතර සෞම්‍යා පැවසුවාය. සෞම්‍යා තාමත් පූජිතගේ දෑතේ එල්ලී ගත් ගමන්මය.

“මගේ අත අතහරින්න නංගී”
“බෑ...බෑ... පවිත්‍රා අතහැරියට මම අතහරින්නෑ”
“අතහරිනවා අත”

පූජිත කෝපයෙන් වෙව්ලන්නට විය. අනපේක්ෂිත සිදු වීමෙන් සෞම්‍යා තැති ගත්තාය. එහෙත් ඈ උත්සාහය අත් නොහලාය.

“ඇයි නැවැත්තුවේ හියියෙන් කෑ ගහන්න....ඔනනම් මට ගහන්න. කොයිතරම් කෑ ගැහුවත් පවිත්‍රා ඔයා ලඟට එන්නේ නෑ.”

දෙදෙ‍නාගේ බහින්බස් වීම අසන්නට තරම් කෙනෙකු මල් පාරේ නොවීම පිළිබඳ දෙදෙනාම සිතින් සතුටු වූහ. සෞම්‍යා උපක්‍රමශීලීව පූජිත තමා අසලින් වාඩි කරවා ගත්තාය.

“ප්ලීස්... ඔයා යන්න නංගී මෙතනින්”
“ඇයි මං යන්නේ.. ඔයා හැමදාමත් කලේ මාව එලවන එක. අදනම් මං ඔයා දාල කීයටවත් මෙතනින් යන්නනේ නෑ”
ඇය උමතු වී ඇත් දැයි පූජිතට සිතිණි. සෞම්‍යා මෙල්ල වන බවක් පෙනෙන්නට නැත. පූජිත නිහඬ වූයේ ඇයට අවනති වෙමිනි.

“මොනාද ඔයාට කියන්න ඔන,... කියන්න තියෙන දෙයක් ඉක්මනට කියන්න”
“ පූජිත අයියා ඔයාට මතකද අපේ ෂෝෂල් එක”
“හ්ම්”
“එයාට මදකද කෙල්ලෙක් අවිත් අයියේ මං ඔයාට ආරෙයි කිවාෟ
“හ්ම්”
“කවුද ඒ”
“ඔයානේ”
“ඉතිං ඔයාට මතකද ඒ කෙල්ලගේ කඳුළු බල බලා ඔයා කියපු කතාව”
“මොකද්ද”
“මං ආ‍දරේ ඔයාට නෙමේ ඔයාගේ යාළුවට කියලා”
“ඔයාට මතකද මං එදා ඔය දෙන්නා තිනි කරලා අඬ අඬ ගිය හැටි”
“ප්ලීස්...ඔයා කතාව නවත්තන්න”
“නවත්න්නේ නෑ”
“ඔයා දන්නේ නෑ මං ඔය දෙන්නට සුබ පැතුවේ අවංකවමයි අයියේ ඒත පවිත්‍රා තේරුම් අරන් හිටිය ඒත් ඔයා ඒකේ අනිත් පැත්ත.”
“මට සමා වෙන්න”

ජීවිතේ පළමු වතාවට යුවතියක් තමාගෙන් ආදරේ ඉල්ලමින් සිඟා කෑ සැටි ඔහු සිහි කලේය. එහෙත් ඔහු අදරේ කලේ ඇගේ යෙහෙළිය වූ පවිත්‍රාටය. සෞම්‍යා තරම් පවිත්‍රා රෑමත් නොවූවද නවක වද සමයේ ඈ තුල වූ අපූර්වත්වයක් දුටුවේය. සෞම්‍යා දඟකාරය. කටකාරය. එහෙත් පවිත්‍රා එකළ උවැසියක් බඳු වූවාය. එහෙත් වසරක් ගත වන්නටත් පෙර ඒ උවැසිය සිල් බින්දාය. ඔවුන් ප්‍රථම වසර අධ්‍යයන කටයුතු ආරම්භ කරන විට පෙම් වතුන් වූහ. සෞම්‍යා සියල්ල අමතක කර ඔවුන්ට සුබ පැතුවාය.

“ඉඩෝර බිම නිවාලන කඳු රැල්ල කලා උළෙල සංවිධානය කරන ලද්දේ පූජිත ඇතුළු අවසන් වසර සිසුන් විසිනි. නර්තනයට දස්කම් පෑ පවිත්‍රා නර්තනයට ඉදිරිපත් කලේ ද පූජිත විසිනි. සංවිධාන කටයුතු නිසා ඔවුන්ට ලංව ඉන්නට අවස්ථා අඩු විය.

නර්තන කණ්ඩායම කලාගාරය පිටුපස පුහුණු වීම් කරමින් උන්හ. චිත්‍ර පුවරුවක් සවි කිරීමට කලාගාරයට යමින් සිටි පූජිත දුටු දෙයින් ගල් ගැසුනේය. කවීෂ නර්තන කණ්ඩායම පුහුණු කළ තම සගයාය. ඔහුද තරඟයට පෙනී සිටින අයෙකි. කවීෂත් පවිත්‍රාත් වේදිකාව පිටුපස වැළඳ ගෙන උන් දසුන පූජිතට නො ඉවසුම් දුන්නේය.

“බය වෙන්න එපා මචං මේක ෆයිනල් ගරෑප් ඩාන්ස් එකේ රිහසල් එකක්”
පූජිතගේ ළය සැහැල්ලු වූයේදැයි ඔහුටම නෙ‍ාතේරිණි. පවිත්‍රා දුව විත් පූජිතගේ අතේ එල්ලිණි.

“බය උනාද”
“හ්ම්”

කලා උළෙල අවසානය සනිටුහන් වන විට නර්තන “ප්‍රේම පූජා” නර්තන යුවල සැබැ පෙම් වතුන් වූයේ සරසවි සංස්කෘතියට එය අළුත් දෙවක් නොවන බව පසක් කරමිනි.

“දැන් කල්පනා කලා ඇති”
“ඇයි ඔයා මාව දාලා නොයන්නේ”
“මට ඔයා ගොඩක් වටිනා නිසා.”
“ගිනි පෙල්ලෙන් බැට කෑ මිනිහා කණාමැදිරියටත් බයයි”
“ මං දන්නවා ඔයා මාව මනින්නේ පවිත්‍රා ගානට”
“ඔයාගේ යාළුවනේ”
“ඔව් යාළුවා තමයි. ඒ නිසා තමයි මං මගේ ආදරේ එයාට පූජා කලේ”

පූජිතට දුක සිතිනි. සෞම්‍යාගේ දෙනෙතට සඳ එලියට දිලිසෙන්නට වූවාය. පිට නොකර නෙතඟ ගුලි කර ගෙන උන් කඳුළු වැල් ‍පූජිතගේ උරහිස සිප ගත්තේ සෙනරත්ගේ සිත ද තෙත් කරමිනි.

“මට සමා වෙන්න නංගී”
පූජිත දෑඟිලි තුඩින් සෞම්‍යාගේ කඳුලැලි පිස දැම්මේය.

රෑ යාමේ මේ සාදයේ
ගී රාව පවී ගියේ
ආරාධනා පා.. මල් සිනා පා
ආවා සෙයා ආදරේ....

එළිමහන් රංග පීඨය දෙසින් උරේෂා රවීහාරීගේ මියුරු ගීතයක් ඇසේ. සංගීත රාත්‍රිය ආරම්භ වී ඇත.
සෞම්‍යා වහා පූජිත ලඟින් මෑත් වූවාය.

“සොරි අයියා... මං යනවා”
“කොහේද”
“හොස්ටල්”
“‍ෙබාරුකාරි”
“ඇයි”
“එහෙනම් දැන් කිව්වේ මාව දාලා යන්නේ නෑ කියලා”
“මෙහෙම දාල ගියාට සිතින් දාලා යන්නේ නෑ”

පූජිත සෞම්‍යාගේ සුරත තදින් අල්ලා ගත්තේය. සඳවතිය ලැජ්ජාවෙන් වලා පටලයට මුවා වූවාය. සයුර සිප එන නල රැල්ලක් දෙදෙනා වටා එති එති ඇදෙන්නට විය.

“දැන් කෝ කෙරුම්කාරිගේ කට”
“අර එදා කියපු එක ආයෙත් කියනවද”
“එදා වගේම දෙයක් වෙයි කියලා මට බයයි.”
“බය වෙන්න එපා එදා වගේ වෙන කවුරුත් අද අපි ලඟ නෑනේ.”
“කියන්නකෝ ඉතිං”
“ම්හ්”
“කියනවද නැද්ද” පූජිත බොරුවට සැර විය.
“මං ඔයාට ආදරෙයි”

පූජිත සෞම්‍යාගේ නලලත සිප ගත්තේය. මෙතෙක් කල් තමා පසුපස හඹා ආ සැබෑ ප්‍රේමය තමාට ලැබුනේ මේ මොහොතේ නොවේදැයි පූජිත සිතුවේය. සෞම්‍යාගේ වතෙහි වූයේ විජයග්‍රාහී අහිංසක බවකි. ඈ ද ඔහුගේ උනුසුමට ලං වූවාය.

එකවරම ශීතල දිය දහරාවකින් දෙදෙනා නෑවී ගියහ. සිහිල් දිය අහුරත් සමග පිච්ච මල් සෞම්‍යාගේ කෙස් කළඹ සිප ගනිමින් තිබිණි. සරසවි සංස්කෘතිය ප්‍රේමය ඔටුනු පලන් යුවලකට ලබා දෙන “බකට් කිරීම” මගින් නැවතත් සරස වසන්තයට යොමු කල අපූර්වත්වය පූජිතගේ දීප්තිමත් දෑසෙහි දිලෙන්නට විය.

සරසවි ජීවිතේ එකම
එක දවසක්.................

Monday, September 13, 2010

ඇලපාත සමග ගජමන්

ඇ.
දෙතොලතර රැඳුනු කවිකම්
කොයි සැඟ වුවාද ගජමන්
තුන් මංසලේ ඔබ තනියෙන්
පිළිමයේ නොමැත හසකැන්
ග.
දෙතොලතර රැඳුනු කවිකම්
ඔබ නිසා වසමි අදනම්
මට තවම නොමැත තනිකම්
මඟ යනෙන බමරු ලඟ මං
ඇ.
පින් කසාවතට සමුදුන්
ඇලපාත මුදලිඳු මං
හරි හැඩයි ඔබේ කවිකම්
නොව පැරණිය හඩ මනරම්
ග.
මගෙ කවට වදන් අසමින්
අම නිවණ අතැර දමමින්
නුඹ කරපු මෝඩකම් නම්
සිහිව නැගෙයි හසකැන්
ඇ.
සිප් සතර දුන්නු ගුරුකම්
පන්හි‍ඳේ තුඩග අමුනන්
නුඹ නමින් ලියන කවි පෙම්
පොත බලන්න මාතර යං
ග.
සිප් සතර ඔබේ මනරම්
ගුරු පඩුරු පුදමි සසොබන්
මාතර යන අවදානම්
ගමනට නැත සූදානම්

Tuesday, September 7, 2010

අපිට උරුම නෑ


නුඹට උරුම නැති
මටද උරුම නැති
හිතුවක්කාර හිතක්.......

නුඹට නොදී මං
මටම රිදුම් දී
තනිවම හඬන බවක්

අහසට පොලොවත්
පොලොවට අහසත්
ළං විය නොහැකි බවත්

අප දැන දැන මුත්
කුමටද මෙතරම්
රිදවාගනු හදවත්