සොඳුරු සරසවි අසපුව

සරසවි ජීවිතය සුන්දර මතකයක් පමණක් නොවේ. සොඳුරු යෞවණය ජීවය ලැබූ ඒ අසපුව මගේ හිතේ කවිකම පිළිසිඳ ගත්තා. එහිම උපන් කවි සිත අද කෙතරම් වැඩිවියට පත්ව ඇත්දැයි අදහා ගත නොහැක.සතුටකි. මිහිරකි. මවුනි ඔබ ඇකයේ සිට මැවූ සිහින බොඳවී විසිරුනා නොවේ මල් පල දැරුවා පමණි. ආයුබෝවන් රුහුණු සරසවි මවුනි ගරු.!

Monday, April 26, 2010

සිහින හොරු අරන් ගියා


මීන නුවන් යුග අතරේ
නීල තඹර පෙති දිලිසේ
පාට සිඳුනු ආකාසේ
සිහින හොරු අරන් රහසේ

මානවිකා සිත් අහසේ
තාරුකා අතර සැඟවේ
නාඳුනනා තුනු සපුවේ
සෙනෙහස් කවි පද ගෙතුවේ

සීත සඳුන් නල රැල්ලේ
වියැළී ගිය කඳුලැල්ලේ
සොයමි ඔබ පිදූ සෙනෙහේ
අතීත සැමරුම් අතරේ

හදවත දැවී ගියාදෙන්




පිපි මල් පරව ගියාවේ
සඳ කැන් විසිර ගියාවේ
මදහස මැකී ගියාවේ
සිතුවිලි බොඳව ගියාවේ

මතකය අළුත් වුනාවේ
නෙතු අග ඉතිරි වුනාවේ
කඳුලැලි පතිත වුනාවේ
හිත අග දුක පිරුනාවේ

සිරි‍ පොද වැසි වැටුනාවේ
විහඟුන් ඉගිල ගියාවේ
අත්තටු සිඳී ගියාවේ
සුලඟක පාව ගියාවේ

Tuesday, April 20, 2010

මනමේ


දිවි ඇති තෙක් දුක බෙදා ගමු කියූ දේවි
මට විතරක් දුක දී ඔබ කොහි ගියෙ පේවි
යුග ගීයක කවි තනුවක් වෙමු කියූ සාවි
සඳ මඩළෙන් සැඟවී හැර ගියාද පාවී

හැඩි දැඩි වැදි රජු සමගින් පැන ගිය
රැවටී මිය ගියාය ඒ මනමේ කුමරිය
මියදුනා නොවේ තනිවිය සොඳුරිය
වේදිකාවේ කළු තිර රෙදි පියවිය

ධනුධර වුණි පෙර බරණැස් පුරවර
ඉදුවර දෙව් සිරි සැප විඳ සුර වර
ඉදහිට තවමත් වනයේ දකිමින් රූබර
තිර හැර බලනෙමි නර්තන පෙම්බර

සිඳ බිඳ දැමුවත් මා ගෙල වැදි රජ
ඉකිබිඳ හඩනා රැවටුන පියළඳ
සිහි කැඳවා තිරයේ හොල්මන් කර
තවමත් රඟනා මම මනමේ රජ

තුන් ඈදුතු




යුග යුග නිමා වී යයි කලි යුගය නිසා
අග හිඟ කමට සටනක යෙදනවා තිසා
ගම් පෙරලියේ සිතුවම් මිහිමඬල වසා
පුස්තක වල රැව් දේ තුන් කල් නොවසා

රන්දා මුදලි පට්ටම් දැවටුනු හින්දා
අනුලා තනිකඩයි පූරුවේ පව හින්දා
නින්දා පසෙකලා කුලගොත් බින්දා
පියල් සමග අතිනත ගත්තා නන්දා

පුරා සියවස් ගරා වැටිලා
වලව් බිම තන පුඳුරු වැවිලා
කලියුගෙන් ගම් පෙරලි වැසිලා
අන්ත‍ෙය් යුග නිමිති වැටිලා

Monday, April 19, 2010

කවදාවත් එහෙම වුනේ නෑ


අහස කළුවර වුන හැමදාම
වැහි වැටේවි කියලා හිතුවාට
කවදාවත් එහෙම වුනේ නෑ
රෑ වුනා විතරමයි...... .

මල් පිපුනු හැමදාම
සුවඳ දැනේවි කියලා හිතුවාට
කවදාවත් එහෙම වුනේ නෑ
සුළං හැමුවා විතරමයි.....

ඔබ සිහිවුන හැමදාම
සතුටක් දැනේවි කියලා හිතුවාට
කවදාවත් එහෙම වුනේ නෑ
සිත රිදුනා විතරමයි............

සඳ තරු හැංගී පෙම් කරනා


ඇසල ස‍ඳේ
රන් එලියට
නෙතු ගැටුනා
අප නොදැනිම
ඇසල සඳට
වහන් වෙලා
නෙතු සැලුනා
සඳ එලියට
සිත් යායට
නුඹ අවුදින්
තරු මඬලට
පෙම් කලාට
සඳට හැකිද
මල් අතරින්
එක මලකට
පෙම් කරන්න


අහම්බයෙන්............සිදුවී...........

තරු අකුරින් ලියූවෙමි


හිනහෙන්න දුන්න
අවසරය අරන්
ඔබ යන්න එපා
දුන් සතුට අරන්

මේ විසල් ලොවේ
සැඟවෙන්න එපා
මගෙ සිත් යායෙන්
සැඟ නොවෙන නිසා

නිල් අහස පුරා
තරු අකුරු සොයා
මේ ලියූ කවිය
සුන් කරනු එපා

අවුරුද්දට ගෙදර ගිහින් පරණ නෝට් ඇදලා බැලුවා.කැම්පස් එකේදි ලියපු කවියක් හමු උනා.අළුත් නැවක් ආවට පස්සේ ලියවුන මල් කවියක්.

Thursday, April 15, 2010

ගොළු හදවත



ඔබ ලගම ඇතැයි සිතෙයි
එහෙත් බොහෝ දුරයි
ඔබ අහම්බයෙන් පෙනෙයි
හදෙහි නිතර රැ‍ඳෙයි

ඔබ සඳවත සේ දිලෙයි
මහද අඳුර වෙසෙයි
නුඹ මගෙ සිහිනය නොවෙයි
එහෙත් මහද සැලෙයි

ඔබ වසන්තයක් වගෙයි
මට අහිමි වේද සිතෙයි
නුඹ තුෂර බිඳක් වගෙයි
හිරු සමගම සැඟවුනයි
මම අනන්තයටම දුවයි
නුඹ එතැනම හිඳියි

මගෙ මුවේ වදන් ගොළුයි
දෑසින් ඉඟි කරයි
මේ ආදරයද සිතෙයි
එහෙත් මටද සැකයි

තනි කමක් සිතට දැනෙයි
පාලුව ද කියා සිතෙයි
ඔබ ගැන මගෙ සිත සොයයි
ඔබ නොදන්නේද එයයි

නිල්මිණි නයන
කැල්මෙනි.....
දැල්වුනි පැතුම්
පියනැසිල්ලෙන්
බොල්පිණි වුවද
නිල්මිණි......

Monday, April 5, 2010

වන වදුලේ මල් කැකුලී




මයෙ හිත් පොජ්ජට හිත්ලෑවේ ඇයි දෙයියා
රැහේ එවුන් දැන ගනිච්චි හාපුයියා
හඳුන් පොතේ ප්‍රේම ගින්න ලැව්දෙයියා
සනුහරේම ඒ ගින්නට නෑසෙයියා

මයෙ දෙයියා කොයි දේසෙන් ආවයියා
සිංගල රටේ මහ හූරා දැනගයියා
මයෙ දෙයියා මයෙ හිත් ගුල පාරයියා
මංගල තැල්ල වරිගේ මැද්දේ පෑගෙයියා

වන මැද්දේ මයේ දෙයියා තනි වෙයියා
හාපුයියා අනතුරුහෙම නොමවෙයියා
රැහේ උන්ට නුඹෙ සෙවනැලි නොදකියියා
මා තනි කර ගිය මගෙ පන රැක දෙයියා


වැදි බස පිළිබඳ අධ්‍යයනය කරන කෙනෙකු මෙහි බස සකස් කර දෙනු ඇතයි විශ්වාස කරමි.

පාළුවට...ලියවුන


සඳ අහිංසකයි
රෑ තුන්යම
හීන දකින හින්දා
සඳ හොරෙන් ඇවිත්
නෙතු අද්දර
සඳ දිය බිඳු ඇන්දා

ඔබ අහිංසකයි
මගෙ හිත ලඟ
දැවට් සිටිය හින්දා
ඔබ හොරෙන් ඇවිත්
සිත අද්දර
පාළු මැකුව හන්දා

අද සිත පාළුයි
හද කුටියෙන්
අතැර ගියපු හින්දා
නෙතු විඩාබරයි
ඔබ එන මග
බලා සිටිය හින්දා